Thursday, January 23, 2025

පොසොන් උළෙලට ඔබ පිළිගන්න අනුරපුර සූදානම්…

මෙරටට බුදුදහම රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ගමනය බැති සිතින් සැමරෙන අති උතුම් පොසොන් පුර පසළොස්‌වක පෝය නිමිත්තෙන් අනුරාධපුර අටමස්‌ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ සිද්ධස්‌ථාන වන්දනා කිරීමට දිවයිනේ සිව්දෙසින් පැමිණෙතැයි අපේක්‍ෂා කරන පහළොස්‌ ලක්‍ෂයක්‌ පමණ ඉක්‌මවූ සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පැවසීය.

මේ අනුව ජාතික පොසොන් උත්සවයේ පින්කම් අද (18 දා) සිට 20 වැනිදා දක්‌වා පැවැත්වේ.

“දුසිරිත් දුරලමු” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.

අනුරාධපුර අටමස්‌ථානය, මිහින්තලේ රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සියලු පොසොන් පින්කම් අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හා තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා මත අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුවේ මෙහෙයවීමෙන් පොසොන් පින්කම් සංවිධානය කොට ඇත.

මේ අනුව ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පොසොන් සතියක්‌ ප්‍රකාශයට පත්කොට ඇති අතර එය පසුගිය 16 වැනිදා සිට ලබන 22 වැනිදා දක්‌වා බලපැවැත්වේ.

පොසොන් පුන් පෝය යෙදී තිබෙන හෙට (19 දා) දිනයේ අනුරාධපුර අටමස්‌ථානය, මිහින්තලේ රජමහා විහාරස්‌ථානය හා තන්තිsරිමලේ රජමහා විහාරස්‌ථානය ඇතුළු සිද්ධස්‌ථානවලදී දාන, ශීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, මල් පහන්, බුද්ධ පූජා, ශබ්ද පූජා සහ පරිත්‍රාණ ධර්ම දේශනා ආදී පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

මේ අනුව එම සිද්ධස්‌ථානවලදී මෙවර ද උපාසක උපාසිකාවන් හැටදහසක්‌ පමණ දෙනකු සිල් සමාදන් වනු ඇති බවට පොසොන් පින්කම් කමිටුව අපේක්‍ෂා කරන බව ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා කීය.

මේ අතර පින්කම්වලට සහභාගි වන සියලු සැදැහැවතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය පානීය ජලය, විදුලිය, සනීපාරක්‍ෂක සේවා, ප්‍රවාහන හා අනිකුත් සුබසාධන සේවාවන් සැලසීමට අනුරාධපුර මහ නගර සභාව, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව, ලංකා විදුලිබල මණ්‌ඩලය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක්‌ විසින් පියවර ගෙන ඇත.

මේ අතර පොසොන් වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්‍ෂාව, මාර්ගෝපදේශන සේවාවන් හා රථවාහන හැසිරවීම ඇතුළු අනිකුත් රාජකාරි සඳහා පොලිස්‌ නිලධාරීන් තුන්දහසක්‌ පමණ සේවයෙහි යෙදවීමට පියවර ගෙන ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ මහතා පැවසීය.

මේ අනුව අනුරාධපුර නගරයට පැමිණෙන සියලු සැකකටයුතු වාහන පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීවේය.

මේ අතර පොසොන් පින්කම්වලට සහභාගිවීමට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම සඳහා විවිධ සංවිධාන මගින් අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ යන සිද්ධස්‌ථාන ආශ්‍රිතව දන්සල් දෙසීයක්‌ පමණ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles