ගෝඨාගේ තොරණ කඩා වැටී ආබාධිත වූ තරුණිය කෝටි 2ක වන්දි ඉල්ලයි!
පසුගිය ජනාධිපතිවරණය සමයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහරගම නගරයේ ඉදිකල තොරණක් කඩා වැටීමෙන් ආබාධිත වූ තරුණියක් රුපියල් කෝටි 02ක වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.
හයිලෙවල් මාර්ගය හරහා මහරගම නගරයේ ඉදිකර තිබූ එම තොරණ 2019 සැප්තැම්බර් 08 වෙනි දින කඩා වැටී ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි සුලාරි ලක්මිණි තරුණිය අනතුරට ලක්විය.
එම අනතුරෙන් බරපතල ශල්‍යකර්ම ගණනාවක් සිදුකර ඇති අතර මාස 6කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දුන්නද ඇය මේ වන විට සදාකාලික ආබාධිතභාවයට පත්ව සිටී.
මහරගම නගර සභාවෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයකින් තොරව නීති විරෝධි ලෙස මෙම තොරණ ඉදිකර තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර විසිනි.
මේ නිසා ඔහුගෙන් රුපියල් කෝටි 2ක වන්දියක් ලබා දෙන ලෙස නීති ආධාර කොමිසමේ මහරගම ශාඛාවේ නීතීඥ ඉනෝකා ආරියරත්න මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.