Tuesday, December 24, 2024

බඩු මිල ඉහළ දමන කූට වෙළඳුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ශක්තිමත් කරනවා – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

පවතින කොවිඩ් වසංගතය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


“කොවිඩ් වසංගතයට මුවා වී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කළ වෙළඳුන්ට එරෙහිව රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, ඉදිරියටත් මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා අද ජනතාව විශාල ලෙස පීඩනයට පත් වෙලා සිටින්නේ. ආදායම් අහිමි වෙලා, නිරෝධායන ඇදිරි නීතිය නිසා රැකියා කරන්න විදියක් නෑ. මේ තත්ත්වයෙන් කූට වෙළඳුන් ජනතාව අනිසි ලෙස සූරා කෑම අතිශයින්ම කණගාටුදාකයි. මේ තත්ත්වය තුළ එදිනෙදා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු කර තිබෙනවා.


එහි පියවරක් ලෙස සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එමෙන්ම සතොස අලෙවි සැල් ජාලය හරහා සාධාරණ මිල ගණන්වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන මගින් ලැබෙන එළවළු සහ පළතුරු බෙදාහැරීම සඳහා රජය මැදිහත් වී යාන්ත්‍රණයක් සකස් කර තිබෙන්නේ ජනතාවට සාධාරණ ලෙස භාණ්ඩ ලබාදීමේ අරමුණ ඇතිවයි. එමෙන්ම දිවයින පුරාම ඇතැම් වෙළදුන් සගවා ඇති භාණ්ඩ සොයා සිදු කරන වැටලීම් වේගවත් කිරීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.


ජනතාව අපහසුතාවයට පත් වන ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමන කූට වෙළඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ නිසා වගකිවයුතු රජයක් ලෙස කොවිඩ් වසංගතයට මුවා වී කූට වෙළඳුන් සිදු කරනු ලබන අසාධාරණ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles