Sunday, September 8, 2024

බතලේගල සියළු ඉදිරිකීරීම් නවතයි..!

පුංචි සීගිරිය නැතිනම් Bible Rock නමින් හැඳින්වෙන කෑගල්ල අරණායක පිහිටි බතලේගල කන්ද ආශ්‍රීත සියලු නව ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක පිහිටි සංචාරක ආකර්ෂණය දිනු බතලේගල කන්ද මුදුනේ සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම් නිසා දැඩි පාරිසරික හානියකට මුහුණදෙමින් ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් උසින් පිහිටි මෙම කඳු මුදුන මත මෙම ඉදිකිරීම් කරගෙන යයි. මීට අදාළව සන්නසක් මගින් විහාරස්ථානයට බලය පවරා ඇති බව සඳහනක් කළද කිසිදු නීතිමය ලියවිල්ලක් ඒ් සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත්ව නැත.

අක්කර 150ක් පුරා පැතිර ඇති රක්ෂිත ප්‍රදේශයක් වන මෙයින් අක්කර 6ක් පන්සලක් සඳහා වෙන්කර ඇත. මෙම ඉදිකිරීම් සිදුවන්නේ එම පන්සල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසය. වඳවෙමින් යන සත්ව හා ශාක විශේෂ කීපයක් පවා හමුවන බතලේගල ගල මේ වන විටත් තැනින් තැන බෝර දමා පුපුරවා තිබේ. බතලේගල නැරඹීමට දිනපතා පැමිණෙන සංචාරකයන් ලවා කඳුමුදුනට වැලි සහ තවත් ගොඩනැගිලි ද්‍රව්‍ය අද්දවා ගන්නා අතර හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ද මේ සඳහා යොදවා ඇත. එසේ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන යාම නොකරන සංචාරකයන්ට කඳුමුදුනේ වැඩවසන ස්වාමීන් වහන්සේ බැණවදිමින් තර්ජනය කිරීමද දැකිය හැකි විය.පසුගිය වසර කීපය තිස්සේ බතලේගල පිහිටි ගුහා තුල දැකිය හැකි දිය උල්පත් ක්‍රමයෙන් වේලියන බවද දැකිය හැක. මෙම පර්වතයට මුහුණලා පිහිටි රාමසර කන්ද නායයාමේ මතකය මැකීයාමටත් පෙරම බතලේගලට සිදුකරන මෙම විනාශය තවත් නායයාම් විපත් සඳහා අතවැනීමක්ද විය හැක.

පසුගිය දා සමාජ මාධ්‍ය හරහා තරුණ කොටස් මීට දැඩි විරෝධයක් දැක්වූ අතර මෙරට සියලු සුන්දර කඳුමුදුන් මේ හරහා අහිමිව යාමේ අවධානමක් ඇති බව බොහෝ පිරිස් පෙන්වා දී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ඉඩමක දැනට මෙම චෛත්‍යයේ මූලික ඉදිරිකීරීම් සිදුකර ඇති අතර වහාම ඒ්වා නැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ අංශ වලට උපදෙස් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles