Monday, November 18, 2024

බාධා අවසන් ! සැලසුම් කළ පරිදි LNG ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනයකින්ම කියයි

සැලසුම් කළ පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් එල්.එන්.ජී සැපයීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටා ඇති නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, මේ සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා (04) දින ලබා දී ඇති තීන්දුව හමුවේ අදාළ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බැවින් යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කරන බවයි.

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මාර්තු මස 04 වනදා නිෂ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි සඳහන් වන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය, 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹට ආසන්නව LNG පර්යන්තයක් ඉදිකිරීමට එකඟතාවයකට පිවිසි බවය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ යෝජිත ස්වභාවික ද්‍රව වායු (LNG) බලශක්ති ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමට නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම කටයුතු කරන බවට වාර්තාවේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ස්වභාවික ද්‍රව වායු බලශක්ති ව්‍යාපෘතිය නවතා දමන මෙන් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කර දැමීමට අධිකරණය කටයුතු කළේය.

නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ගිවිසුම් ගත වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමේ හා නව ස්වභාවික ද්‍රව වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමේ බලතල අදාළ සමාගම වෙත පැවරිනි.

මෙම ගිවිසුම හරහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට කෙරවලපිටිය විදුලිබල සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතිය ලබා දී ඇත. දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 310 ක යුගදනවි බලාගාරය සහ එළඹෙන 2023 වර්ෂයේදී අතිරේක මෙගාවොට් 350 ක විදුලියක් ජනනය කිරීමට බලාපොරොත්තු වන සොබාදනවි බලාගාරයට අවශ්‍ය බලශක්ති අමුද්‍රව්‍ය ලෙස දිනකට ස්වභාවික ද්‍රව වායු ගැලුම් මිලියන 1.2ක් (~ 35,000 MMBtu) ලබා දීමට එම සමාගම කටයුතු කරනු ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා වූ නිශ්චිත ගිවිසුම කොන්දේසි වලට යටත් වන බව ද මේ සම්බන්ධයෙන් ඇමරිකානු සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පිරිසිදු බලශක්තිය පරිහරණය කිරීම වේගවත් කිරීම සඳහා ආරම්භ කරන ලද ගෝලීය බලශක්ති යටිතල පහසුකම් සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, ආර්ථික වර්ධනය, පාරිසරික භාරකාරත්වය වැඩිදියුණු කිරීම, දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම ඇතුළු කාර්යභාරයන් සඳහා අවශ්‍ය පූර්ණ ඒකාබද්ධ පිරිවැටුම් බලශක්ති විසඳුම් ලෙස යෙදිය හැකි ස්වභාවික ගෑස් යටිතල පහසුකම් සහ සැපයුම් සඳහා අරමුදල් සපයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles