Saturday, September 21, 2024

ණයවර ලිපිය ඈඳෙයි… මහජන බැංකුව චීනයේ බ්ලැක්‌ලිස්‌ට්‌ ගෙවීම් නොකළේ උසාවි නියෝගයක්‌ අනුවයි – මහ බැංකු අධිපති

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත (බ්ලැක්ලිස්ට්) කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ මෑතකදී පොහොර ගනුදෙනුවකට අදාළව මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියකට ගෙවීම පැහැර හැරීම බවද වාර්තාවේ.

එම තීරණය චීනයේ වාණිජ අමාත්‍යාංශයට ද ඉදිරිපත් කර ඇති බවත්, මේ සිද්ධිය නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කර ඇති බවත් මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් තහවුරු කළේය.

මේ අනුව ශී‍්‍ර ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ශී‍්‍ර ලංකාවේ මහජන බැංකුව නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙස ද සියලූම චීන ව්‍යවසායකයන්ට සිහිපත් කර ඇති බවද වාර්තා වේ.

ණයවර ලිපියට අදාළ කොන්ත‍්‍රාත්තුවේ නියමයන්ට අනුව අදාළ සියලූම ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු මහජන බැංකුව විසින් එම ණයවර ලිපියට අදාළ ගෙවීම කළ යුතු බවද චීනයේ අදාළ සමාගමේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩි කබ්රාල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප‍්‍රකාශ කළේ අදාළ ගෙවීම සිදු නොකර ඇත්තේ උසාවියෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් අනුව පමණක් බවයි.

ඒ අනුව දැනට උසාවි නියෝගය මත එම ගෙවීම කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවද අදාළ නීතිමය බාධාවන් ඉවත් වීමෙන් පසු එම ගෙවීම සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගත හැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ ආරංචි මාර්ග තහවුරු කළේ ද අදාළ ගෙවීම සිදු නොකළේ උසාවියේ තහනම් නියෝගය නිසා බවයි. අධිකරණයේ තීරණය ප‍්‍රකාරව ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවද මහජන බැංකු ආරංචි මාර්ග සඳහන් කළේය.

මතභේදයට තුඩු දී ඇති පොහොර තොගය චීනයේ චින්දා ඕ සිවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කර තිබූ අතර ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා මහජන බැංකුව විසින් ණයවර ලිපි නිකුත් කර තිබිණි.

අදාළ පොහොර තොගයේ සාම්පල පරීක්‍ෂා කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා ශාක නිරෝධායන සේවය පවසා තිබුණේ ඒවායේ අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බවයි. මේ පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ටෙන්ඩර් කි‍්‍රයාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක කොටසකි.

කෙසේ හෝ උසාවියේ වාරණ නියෝගය හේතුවෙන් චීනයේ අදාළ සමාගම වෙනුවෙන් විවෘත කළ ලිපි සඳහා මහජන ගෙවීම් කිරීමට නොහැකිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – ඉරිදා දිවයින සංග්‍රහය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles