Monday, December 23, 2024

වාසු දකින බැසිල්ගේ අයවැයේ හොඳ නරක

මුදල්ප්‍ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරිම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය හමුවක් කැඳවිය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් අයකරන බදු ප්‍රමාණය ඉහළ දමා සාමාන්‍ය ජනතාව මත පැටවෙන බර අවම කළ යුතු බවයි.එසේම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් සිදුකළ යුතු බවද ඔහු පැවැසීය.

“මෙවර අයවැයේ බිලියන 1628 ක හිඟයක් පවතිනවා එය පුදුමයක් නොවෙයි. මෙතරම් විශාල වසංගතයකින් පසුව මෙතරම් අසීරු කාලයකින් පසුව මේ වියදම් සියල්ලම අප දරා ගත යුතුයි. ඒ නිසා අපි මේ තත්ත්වයට මුහුණ දිය යුතු වෙනවා.

නමුත් විපක්ෂයේ කථාව දෙපිටකාට්ටුයි. එක පැත්තකින් වියදම් කරන්නේ නෑ කියලා දොස් කියන ගමන් අනිත් පැත්තෙන් වියදම් කරාම කියනවා ඔන්න හිඟයක් තියෙනවා කියලා. හිඟයක් තියෙනවා තමයි. මේ හිඟය වළක්වාගන්න නම්, නැති කරගන්න නම් ඒ සඳහා තියෙන හොඳම මාර්ගය තමයි ආදායම වැඩිකර ගැනීම. නමුත් ආදායම් වැඩිකර ගැනීමෙත් සීමාවන් තියෙනවා. පොදු මහජනතාවගේ කර මතට වැඩි බරක් පටවන්නේ නැතිව මෙම ආදායම් මාර්ග වැඩිකර ගත යුතුයි.

ඉහළ ආදායම් ලබන කොම්පැනි වලින් වැඩි බදු මුදලක් ගන්නට මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙනවා. එය අධිභාරයක්. එම අධිභාරය වගේම 2.5% ක් පිරිවැටුපෙන් අයකර ගැනීමේ වැඩපිළිවෙලත් හඳුන්වා දී තිබෙනවා. වැඩිම ආදායම් ලබන සමාගම් වලින් එසේම සමාජ සංරක්ෂණ අරමුදලක් සෑදීමටද මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

විශ්‍රාමික පාරිතෝෂිතයක් නැති වැඩිහිටි ජනතාව සඳහා ඔවුන් වෙනුවෙන් මේ සඳහාත් ඉහළ ආදායම් ලබන අයගෙන් බදු මුදලක් අයකර ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවා.

මේ කෙසේ වුවත් අපි මේ රටේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි. එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩිවෙන්න, වැඩිවෙන්න පොදු මහජනතාව ගෙවන බදු මුදලක් වැඩියි. ඒ නිසා මේ රටේ දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය පොදු මහජනතාවට අවාසියක් කියලායි මගේ අදහස ඉහළ ව්‍යාපාරික ප්‍රජාවගෙන් 10% ක් අයකරන අතර පොදු මහජනතාවගෙන් 90% ක් අයකිරීමේ තත්ත්වයක් තමයි දැන් පවතින්නේ. මෙය වහාම සංශෝධනය විය යුතුයි. සෞභාග්‍යයේ දැක්මට අනුව මෙය 50% ක ප්‍රමාණයට සමානව බෙදිය යුතුයි. මෙය අපගේ පක්ෂයේ ස්ථාවරයයි.

ඉහළ ආදායම් ලබන අයගෙන් අයකරනු ලබන 25% බද්දෙන් පිරි වැටුපෙන් අයකරන 2.5% ක මුදලින් ලීසිං කොම්පැනි බැංකු දුරකථන ආයතන වල ආදායමෙන් අයකරන බද්දෙන් යම් ප්‍රමාණයකට මේ අනුපාතය වෙනස් කළ හැකියි. මේ අනුව ඉහළ ආදායම් ලබන අයගෙන් ලැබෙන බදු අනුපාතයේ කිසියම් ඉහළ යෑමක් සිදුවෙනවා. නමුත් 85%-15% තත්ත්වයෙන් අද දවසේ මෙම බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට අප උත්සාහ ගත යුතුයි. ඉහළ ආදායම් ලාභීන්ගෙන් දැනට ලැබෙන බදු ප්‍රතිශතය 10% සිට 15% දක්වා ඉහළ නැංවීමෙන් මේ තත්ත්වය කාලයකට හෝ සමනය කර ගත හැකියි.

මේ කොයි හැටි වෙතත් සෑම රජයේ වියදමකටම කර ගහන්න වෙන්නේ 85% ක් වන සාමාන්‍ය ජනතාවට අන්න ඒක අපි හොඳින් මතක තබා ගත යුතුයි.

එසේම මිල පාලනය ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්ණයක් අවම වශයෙන් ප්‍රධාන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහාවත් මිල පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති නම් ස්ථිර වැටුපකින් ජීවත් වන අයට මේ තත්ත්වය දරාගන්න අපහසුයි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි. ඒ අය සඳහා සහනයක් ලබාදිය යුතුයි.

වැටුප් විෂමතාවය නැති කිරීමට කටයුතු කරන බව කියා සිටියා, එය හොඳ දෙයක් නමුත් එය ක්‍රියාත්මක වන තුරු අතුරු දීමනාවක්වත් ලබාදිය යුතුයි. එසේම මුදල් අමාත්‍යතුමා අපගේ අපනයන සමාගම් වලට ස්තූතියක් කලා මේ අසීරු අවස්ථාවේ දී සිය අපනයනයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව. ඒ වාගේම මේ වසංගත තත්ත්වය හමුවේ මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකළ එම සමාගම් හී කම්කරු සේවක ප්‍රජාවටද අපගේ ගෞරවය හිමිවිය යුතු” යැයි ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles