Saturday, September 21, 2024

බැසිල්ගේ දූෂිත නිලධාරින්ට -යහපාලනයෙන් තවත් තනතුරු

“හයත් රිජන්සි” වංචාව පිළිබඳව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කොට ඇති නඩුවේ ප‍්‍රධාන චූදිතයෙකු වන නීල් බණ්ඩාර හපුහින්න නැමැත්තා මේ වනවිට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් (12) දින සිට සමාජ සවිබල ගැන්වීමේ හා සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක විසින් පත් කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙකු වන ඔහු සාගල රත්නායක මහතා යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර මේ වනවිට සමාජ සවිබල ගැන්වීමේ හා සුභ සාධන අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියි. එසේ කටයුතු කරමින් සිටියදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද පත්වීම සිදු කර තිබේ. 2014 ජනවාරි 03 ආරම්භ වු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි මේ වනවිට අධ්‍යක්ෂ ජනරාල්වරු 05 කටයුතු කර තිබේ.
මීට පෙර ඔහු පසුගිය ආණ්ඩුව සමයෙහිදී කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ ලංකා හොස්පිට්ල්ස් සමාගම යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවටද අනාවරණය වෙයි.
කොළඹ, කොල්ලුපිටියේ ඉදි කරන “හයත් රිජන්සි” ගොඩනැගිල්ල සෙලින්කෝ සමූහ ව්‍යාපාරය වෙතින් රජයට පවරා ගෙන පසුව ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් රුපියල් බිලියන ගණනක් යොදා වංචනික ලෙස කැනවිල් හෝල්ඩිංග්ස් නැමති සමාගමට පැවරීම පිළිබඳ වංචාවට මෙම නිලධාරියා චෝදනා ලැබ ඇත. ඔහු කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ ලංකා හොස්පිට්ල්ස් සමාගම යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
රුපියල් බිලියන ගණනින් වංචා සිදු කළ රාජපක්ෂ පාලනයේ ඉහළම නිලධාරීන්ට මෙලෙස වරදාන දෙමින් රනිල් – මෛත්‍රී ආණ්ඩුව මෙලෙස යහපාලනය ගොඩනගන්නේ කෙසේද ?
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා සමග රාජපක්ෂ පවුලේ බරපතල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ මෙම නිලධාරියා පසුගිය සමයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉතා සමීපව කටයුතු කරමින් සිටි බවටද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles