Monday, December 23, 2024

බැසිල්ට, තිරු නඩේසන්ට අධිචෝදනා

ගම්පහ මල්වානේ නිශ්චල දේපළක් අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ විමර්ශනවලින් පසු හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට හා ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව මාර්තු 9වැනිදා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා ගොනුකර තිබේ.

රුපියල් මිලියන 200ක් වටිනා එම නිශ්චල දේපළ අත්පත් කරගත් ආකාරයට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු නඩේසන් මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ පළමු විත්තිකරු වන අතර තිරු නඩේසන් මහතා දෙවැනි විත්තිකරු වෙයි.

තිරු නඩේසන් මහතා හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතර රාජපක්ෂවරුන්ගේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේද සමීපතම මිතුරෙකි. 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජරාජයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධීකරණය කලේ තිරු නඩේසන් මහතාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලයේ කළ විමර්ශනවල ප්‍රතිඵල ලෙස පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් අයථා ආකාරයෙන් උපයාගත් දේපළ ප්‍රමාණයක් නැවතත් අත්පත්කර ගැනීමට සමත් වී තිබේ. බැසිල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගෙන ඇතැයි අනාවරණය වූ මල්වානේ පිහිටි අක්කර 14ක ඉඩම සහ නිවස මේ වනවිට වෙන්දේසි කිරීමට අධිකරණය නියම කර ඇති අතර මාතර බ්‍රවුන්ස් හිල්හි කෝටි ගණනක් වටිනා දේපළක් හා ගම්පහ ඔරුතොට පාරේ පිහිටි ඉඩම සහ නිවස සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙයි.

පසුගියදා කොළඹ මහාධිකරණයේදී බැසිල් රාජපක්ෂ මහතාට තවත් නඩුවකට අධිචෝදනා පත්‍රද භාරදෙන ලදී. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගතහැකි වන සේ පළාත් පාලන ආයතනවලට රජයේ වියදමෙන් රුපියල් ලක්ෂ 360ක් වටිනා ජී.අයි. බට බෙදාදීම සම්බන්ධයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles