Monday, September 23, 2024

බොරළු කැපීම නතර කළොත් සමාව ගන්නවා

නිසි අවසරයකින් තොරව දිවුලපිටිය ප්‍රදේශයේ කෙරෙන පස් කැපීම, ගස් කැපීම, කළුගල් බොරළු කැපීම හෙට සිට නතර කරන්නේ නම් තමන් දිවුලපිටිය ප්‍රාදේශීය ‍ලේකම්වරිය ඇතුළු අදාළ සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් සමාව ඉල්ලීමට සූදානම් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
එසේ හැරුණු විට තමන් කිසිසේත් කිසිවෙකුගෙන් සමාව ඉල්ලීමට සූදානම් නැති බවත් පරිසරයට හානි කරමින් ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය අහිමි කරමින් පන්සල් වෙහෙර විහාරවලට ජලය අහිමි කරමින් කුඹුරු හානි කරමින් විශාල පරිසර හානියක් සිදුකිරීමට ඉඩ හැරීම වෙනුවෙන් එම ප්‍රදේශයේ අදාළ රාජ්‍ය නිලධාරීන් අකරගම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු යැයි ද ඒ මහතා කීය.
දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයින්ගේ අනිසි බලතල මත නිසි අවසර පත්‍රයකින් තොරව පස් කපන බවට සහ පරිසර හානි සිදුකරන බවට එම ප්‍රදේශයේ ජනතාවගෙන් නිරන්තරව ලැබුණු පැමිණිලි අනුව තමන් ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයෙකු ලෙස මෙයට මැදිහත් වූ බවද ඒ මහතා කීය.
රාජ්‍ය නිලධාරියක වූ ප්‍රාදේශීය ‍ලේකම්වරියට නියෝජ්‍ය ඇමැතිවරයා බැණ වැදීම සදාචාර සම්පන්න නොවන්නේද යනුවෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඕනෑම අයෙකු තමන් ජනතාවට සේවය කරද්දී දොස් අසන්නට බැණ වැදීමට ලක් වීමට සිදුවන බවත් ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදී නින්දා ප්‍රශංසා දෙකම එක හා සමානව විඳීමට සිදුවන බවය.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles