Monday, November 18, 2024

බෞද්ධ දර්ශනයේ වැදගත්කම ලොවට කීම වෙසක් උළෙලේ අරමුණයි

බෞද්ධ දර්ශනයේ ප්‍රයෝජනය සහ වැදගත්කම පිළිබඳ පණිවුඩය ලොව පුරා ප්‍රචාරය කිරීම මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙල තුළින් සිදුවෙන බව බුද්ධශාසන සහ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. අප රටේ මෙවර පැවැත්වෙන්නේ නිකම්ම නිකම් ජාත්‍යන්තර වෙසක් උළෙල සැමරීමක් නොව ලොව ගමන්මඟ වෙනස් කරවන අර්ථාන්විත සැමරුමක් බවත් ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසර 2030 දක්වා සංවර්ධන ඉලක්කයන් දක්වා ගමන් කරමින් සිටින බව පැවසූ ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා එම ඉලක්කය මිත්‍යාවෙන් තොරව යථාර්තයක් බවට පත්වීමට නම් ලොව පුරා තිරසාර සාමය තිබිය යුතු බවත් ප්‍රකාශ කළේය.

බෞද්ධ දහමේ සහ දර්ශනයේ අත්දැකීම් අනුවඒ බව මැනවින් පසක් වන බවත් ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා අවධාරණය ක‍ළේය.

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින තේමාව වන්නේ ‘ලොව තුළ තිරසාර සාමය සඳහා බුදුදහමේ පණිවුඩය ලොවට හඳුන්වාදීම’ බවත් ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (3) බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ලොව පුරා සාමය බුදු දහමෙන් නිරවුල්ව නිවැරදිව අර්ථ නිරූපණය කර තිබේ යන කාරණය පදනම් කරගනිමින් ජාත්‍යන්තර වෙසක් දින තේමාව නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙසක් දින උළෙල අප රටේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. එම නිසා එහි මතක සටහන් සමරු සටහන් ලෙස පිළියන්දල කහපොල ප්‍රතිනිර්මාණය කෙරෙන ශාක්‍ය ජනපදය කදිම උදාහරණයයි. සුද්ධෝදන රජුගේ ජනපදය මාලිගය ඇතුළු පුරවරය එයාකාරයටම ප්‍රතිනිර්මාණය වෙනවා. ලුම්බිණියේ පවා ඇත්තේ නටඹුන් පමණයි. ශාක්‍ය ජනපදය ජීවමානව නැරඹීමට ලොව ඕනම අයකුට අවස්ථාව සලසන එකම රට වන්නේ අපේ රටයි.

බුදුරජාණන් වහන්සේගේ වැදගත් සිදුවීම් ශාක්‍ය ජනපදයේ ප්‍රතිනිර්මාණය කෙරෙනවා. ඒ අතර බුද්ධත්වයට පත්වුණ බුද්ධගයාව, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ මිගදායේ ඉසිපතනාරාමය පරිනිර්වාණය සිදු වුණ කුසිනාරා නුවර සල් උයන ප්‍රතිනිර්මාණයත් සිදුවෙනවා.

දහම් දැනුම බෙදාහරින පුස්තකාලය, විද්‍යුත් පුස්තකාල භාෂා කිහිපයකින් විද්‍යුත් විකාශන මාධ්‍යයන් ලොවට ප්‍රචාරය කිරීම ඇතුළුව දහදාහකට පමණ එක්වර භාවනාවේ යෙදීමට හැකි ස්ථානයක් ද නිර්මාණය කෙරෙනවා. කහපොල අක්කර හැත්තෑපහක වපසරියක් පුරාවට මේ සියල්ල සිදු වෙනවා.

වාර්ෂිකව පැවැත්වෙන ජාතික වෙසක් දින උළෙලක් එයාකාරයටම මෙවරත් සිදු වෙනවා. කෑගල්ල වට්ටාරම රජමහා විහාරස්ථානයේ දී එය සිදුවෙනවා. පන්සියනමක් සසුන්ගත කිරීමත් එහිදී සිදු වෙනවා.

ජාත්‍යන්තර වෙසක් උළෙලේ සම්බන්ධීකාරක සමන් වීරමන් මහතා- ශාක්‍ය ජනපදයේ නිර්මාතෘවරයා වන්නේ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතායි. රුපියල් මිලියන පන්සියක මුදලක් මෙම ජනපදය ප්‍රතිනිර්මාණය සඳහා වැය කරන්නේ එම පදනමයි. ජාත්‍යන්තරයෙන් සහ හිතවතුන් මඟින් එම මුදල ගුණරත්න මහතාට ලැබෙනවා. ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතාගේ උනන්දුව හා කැපවීම මතයි ශාක්‍ය ජනපදය අප රටේ ප්‍රතිනිර්මාණය කර ගැනීමට ලැබුණේ. එසේ නොවුණානම් මෙය ප්‍රතිනිර්මාණය වන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරයි.

ජාත්‍යන්තර වෙසක් උළෙල නිමිත්තෙන් විනාඩි දහයකට අඩුවෙන් බෞද්ධ තේමා යටතේ නිපදවනු ලැබූ වාර්තා චිත්‍රපටි විකාශනය කෙරෙනවා. තරුණ ශිල්පීන්ගේ නිර්මාණ ලෙස සජීවීකරණ චිත්‍රපටි, ජංගම දුරකථන මඟින් වන චිත්‍රපටි, සංගීත වීඩියෝ පට විකාශනයට අවස්ථාව සලසා දෙනවා. මේ පිළිබඳව දින වකවානු ඇතුළත් සෑම විස්තරයක්ම ඉදිරියේ දී ප්‍රකාශයට පත් කෙරෙනවා. කොළඹ සහ මහනුවර ආශ්‍රිතව බෞද්ධ චිත්‍රපටි උළෙලක් පැවැත්වෙනවා.

බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්න මහත්වරු මෙම අවස්ථාවට සහහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles