හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ අභාවය පිළිබඳව ශෝකය පළකිරීමේ යෝජනාව අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
අගමැතිවරයා ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ මංගල සමරවීර මහතා ජීවිතයෙන් සමු ගන්නා තෙක් තමන්ටම ආවේණික වූ දේශපාලන ගමනක නිරත වූ බවයි. කිසිදු අවස්ථාවකදී සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකළ මංගල සමරවීර මහතා නිර්මාණශීලී දේශපාලන මිනිසෙකු ලෙස හැඳින්විය හැකි බවද අගමැතිවරයා සඳහන් කළා.
“ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ දේශපාලනඥයෙකු ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් උසස් අධ්‍යාපන ආයතනයෙන් පළමු උපාධිය ලබාගෙන 1983 දී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබුවා.
1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක ධූරය ට පත් වූ මංගල සමරවීර මහතා 1989 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එදා ඉඳන් වසර 31 ක් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා. ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක් වගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්.
“1989 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කළ ඔහුගේ පළමු කථාවේ ඉඳන් 2020 පෙබරවාරි මාසයේදී කළ අවසන් කථාව දක්වා කළ කථාවලින් එම දේශපාලන දර්ශනය මනාව පැහැදිලි වෙනවා.
1988 – 89 භීෂණ සමයේදී පැවති අවනීතිය සහ අසාධාරණයන්ට එරෙහිව මංගල සමරවීර මහතා මව් පෙරමුණ නිර්මාණය කළා. මා එහි සම කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා.
1977 සිට 1994 දක්වා පැවති 17 වසරක මහජන පීඩාකාරී පාලනයට එරෙහිව, විශේෂයෙන් 88/ 89 භීෂණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මා මෙහෙයවූ අරගලවලට සහ පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මංගල සමරවීර මහතා එදා කළ මෙහෙවර මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
1994 වර්ෂයේදී පළමු කැබිනට් අමාත්‍ය ධූරයට පත් වු දා සිටම විවිධ රජයන් වල වගකිව යුතු අමාත්‍ය ධූර රැසක් හොබවනු ලැබුවා.
තැපැල් හා විදුලි සංදේශ, නාගරික සංවර්ධන, වරාය හා ගුවන් සේවා, ජන මාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධූර දරමින් තමන්ට පැවරුණ විෂය පථයන් නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා සෑම අවස්ථාවකම උත්සාහ කළා.
සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ ඔහු දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙකි. අභියෝග හමුවේද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර මහතා එම මතවාද වෙනුවෙන් නිරතුරු ව පෙනී සිටියා.
පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද මිය යන තුරුම මංගල මාගේ පෞද්ගලික මිතුරෙක් වුණා” යි සිය ශෝඛ පණිවිඩය කියවමින් අගමැතිවරයා කියා සිටියා.
“මා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේ දී, මා වෙත විවිධ අභියෝග රැසක් පැමිනුණා. ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැප කිරීම මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
ඔහු දේශපාලන ජීවිතය පුද්ගලික ජීවිතයට ගාව ගත්තෙ නෑ. පාර්ලිමේන්තුවේ දරණ දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් වුනෙත් නෑ.
මංගල දැඩි විවේචකයෙක්. ඉතාම තියුණු විධියට තමන්ගෙ ප්‍රතිවාදියාව අපහසුතාවයට පත් කරන්න සමත් ප්‍රචාරකයෙක් හැටියට කා අතරත් ප්‍රකටයි.
මංගල ලිබරල් මතවාදය දැරුවත් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළේ ඒ පළාතේ තිබුණ සංස්කෘතික පසුබිම පදනම් කර ගෙන බව අපි දන්නවා.
ඇමති ධූර දැරූ සෑම අවස්ථාවකම තමන්ගෙ පාක්ෂිකයා වෙනුවෙන් විශේෂ කැප කිරීම් කරන්න ඔහු අමතක කළේ නෑ.
ඒ නිසාම එතුමාගේ ආසනයේ සහ දිස්ත්‍රික්කයේ කීර්තිය හා ජනප්‍රියත්වය නොඅඩුව ඔහුට හිමි වුනා. මංගල දේශපාලනයෙන් ඉවත්වෙන කොට එතුමාගේ මරණයෙදි වගේම මම ගොඩක් කණගාටු වුණා. ඒකට හේතුව වුනේ මංගල කියන්නේ දේශපාලනයේ සිටිය යුතුම දේශපාලනඥයෙක්.
තරඟ කළ යුතු, සටන් වැදිය හැකි ප්‍රතිවාදියෙක්. දේශපාලනයෙන් සමුගන්නවා කිවුවහම මම කතා කරලා මංගලට කිවුවා ‘මංගල තව දුරටත් ඔබ දේශපාලනයේ ඉන්න ඕනෙ’ කියලා. ඒකට හේතුව මංගල වගේ ප්‍රතිවාදියෙක් මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා.
ඔහු කොයිම වෙලාවකවත් දේශපාලනය පුද්ගලික ජීවිතයට ගාවගෙන පළිගැනීම් කරන්න වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්.
පාර්ලිමේන්තුවේ හෝ මහජන සභාවල අපි අතරෙ තියෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් පැහැදිලිව විවේචනය කර ගන්න ඕනෙ. ඒවා තියුණු වෙන්නත් පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය පිළිබඳ කාරණාවලදී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක් නොවන බව මතක තියාගන්න.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපූර්ව චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ අභාවයෙන් සංවේගයට පත් එතුමාගේ වැඩිමහල් සොහොයුරිය වන ජයන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට මාගේ සහ රජයේ ශෝකය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා” යි අගමැතිවරයා සිය පණිවිඩය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියා.