Friday, September 20, 2024

මගේ කිරිල්ලිගේ ස්කොඞ් ගැලවෙයි?

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහුට ලබා දුන් පොලිස් ආරක්ෂාව ඇතුළු පහසුකම් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට පොලිස්පතිවරයා වෙත තොරතුරු ලැබී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිස්පතිවරයකුගේ විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව සුවිශේෂී ආරක්ෂාවක් සපයනු නොලබන අතර අනුර සේනානායක මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත්තේ ඔහු විශ‍්‍රාම යාමට ආසන්න කාල වකවානුවේ දී කරන ලද විශේෂ විමර්ශන කිහිපයක් හේතුවෙනි.

විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් රථයක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇත. ඔහුට ලබා දී ඇති මෙම පහසුකම් යොදා ගනිමින් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් කි‍්‍රයාකාරීව කටයුතු කිරීමේ අයිතියක් නැත.

මේ බව තහවුරු වුවහොත් විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ලබා දී ඇති පොලිස් ආරක්ෂාව ඇතුළු අනෙකුත් පහසුකම් ඉවත් කිරීමට සිදු වනු ඇතැයි දැනගන්නට ලැබේ. විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාට ආරක්ෂාව ලබා දීම පිළිබඳ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් අප විමසා සිටි අතර ඔහු මුලින් සඳහන් කළේ එවැනි ආරක්ෂාවක් සපයා නැති බවයි. එවැනි ආරක්ෂාවක් ලබා දී ඇත්නම් පැය භාගයක කාලයක් තුළ සොයා බලා නැවත දන්වන බවද හෙතෙම කීවේය. මද වේලාවකට පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ විශේෂ විමර්ශන කටයුතු කිහිපයක් හේතුවෙන් ඔහුට ජීවිත තර්ජන ඇති වී තිබෙන බවයි. එම නිසා අනුර සේනානායක මහතාට නිලධාරින් තිදෙනෙකුගේ ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිතුමා කි‍්‍රයා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

මහතාගෙන් ඔහුට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධව අප විමසා සිටි අතර ඔහු සඳහන් කළේ තමන්ට ජීවිත තර්ජන ඇති නිසා විශේෂ පොලිස් ආරක්ෂාවක පිහිට පැතූ බවයි. ඔහුට ලබා දී ඇති ආරක්ෂාව සහ පහසුකම් සැලකිල්ලට ගනිමින් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් බලයට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධ වුණේ දැයි සත්හඬ කළ විමසීමකට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ තමා කිසි කලෙක කිසිදු දේශපාලන ව්‍යාපෘතියකට සහයෝගය නොදුන් බවයි. රාජකාරි සමය තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුම් හා විමර්ශන හේතුවෙන් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති නිසා කිසිදු කටයුත්තක් සඳහා නිවසින් බැහැර නොයන බව ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් වැරදි ප‍්‍රචාර නිසා තමන්ට විදේශ ගතවීමට පවා ඉඩක් නැති බවත් නිවස තුළ හිරකාරයකු සේ දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බවත් අනුර සේනානායක මහතා සඳහන් කළේය. සංගීත ප‍්‍රසංගවලට ආරාධනා ලැබුණත් තමන් එහි නොයන්නේ ජීවිත ආරක්ෂාව පතා බවත් ලබා දී ඇති පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවා තමන්ගේ ජීවිතය අනතුරේ නොදමන ලෙසත් හෙතෙම මෙරට ජනමාධ්‍යයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනබව ද වැඩිදුරටත් සඳහන් කළේය.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles