Tuesday, September 24, 2024

මට උඩ බලාගෙන කෙළ ගහගන්න බැහැ, ඕනම පවුලක තියන ප්‍රශ්න කවදාවත් එළියේ සමාජයට දෙන්නේ නැහැ

ඔහු ගැන අටුවාටීකා අවශ්‍ය නැත. ඔහුගේ නම ඇසූ පමණින් ඔහු රටම දනි. පිට පිට තෙවන වතාවටත් සුමති සම්මාන උළේලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හිමි කර ඔහු කාවිංග පෙරේරා . තමන්ට ලැබුනු සම්මානය සහ සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග එක්ව කාවිංග හෙළි කර තිබුනා. එම සංවාදය පහතින්

සුමති සම්මාන උලෙළේ දී තුන් වන වරට තමයි ඔබ ජනප්‍රියම නළුවා සම්මානය ලබාගන්නේ? 

ඔව්, මට ජනප්‍රියම නළුවා සම්මානය තුන්වන වරට ලබාගන්නත් වාසනාවන්ත වුණා. මෙවර මට ඒ සම්මානය හිමිවෙයි කියලා මම හිතුවෙ නැහැ. නමුත් එය මට හිමිවීම ගැන සතුටක් තිබෙනවා. මට මේ සම්මානය හිමිකර දුන් ප්‍රේක්ෂකයන්ට ස්තුති වන්ත වෙනවා. ඔවුන් මං වෙනුවෙන් එස්.එම්.එස්. හා කූපන් පත් එවලා තිබුණා. මගේ ජීවිතයේ මම සල්ලිවලට වඩා මිනිස්සු ගොඩක් හම්බකරලා තියනවා. එය මගේ අප්පච්චි මට කියලා දුන්න දෙයක්. ජනප්‍රිය වෙන්න රංගන ශිල්පියෙක්ම විය යුතු නැහැ. වටිනාම දේ මිනිසුන් සමග ජීවත් වීම. අවංකව මනුස්ස බැඳීම් තියාගත්තොත්, ඔහු හැමදාම ජනප්‍රියයි. මම හිතනවා මම සාර්ථකයි කියලා.

මේ සම්මාන උලෙළ පැවැත්වීමට පෙර සහ සම්මාන උලෙළ පැවැත් වීමෙන් පසුවත් මෙහි විනිවිධභාවය ගැන ප්‍රශ්න ඇති වුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? 

සම්මාන උලෙළක් පැවැත්වීම සම්බන්ධයෙන් මට කිසිම විවේචනයක් නැහැ. ඕනෑම රංගන ශිල්පියෙක්ගේ හෝ ශිල්පිනියෙක්ගේ අවසාන අභිප්‍රාය සම්මානයක්. තිරය පිටුපස සිට ඒ නිර්මාණවලට කොතරම් කැප වෙනවද කියන කාරණය දන්නේ අපි විතරයි. සමහර දිනවල රූගත කිරීම්වලට උදෑසන හතරට පමණ පිටත් වෙන්න සිදු වෙන්නේ. එහෙම විවිධ කැපකිරීම් කරන ශිල්පීන්ට සම්මාන උලෙළක් පැවැත්වීම සම්බන්ධව මම සතුටු වෙනවා. සුමති සමූහ ව්‍යාපාරයට ස්තුතියි වන්ත විය යුතුයි. නොකඩවා වසර 22ක් මේ සම්මාන උලෙළ පවත්වනවා. ලංකාවෙ ඉන්න මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන්ට ලබාදෙන ඇගයීම සම්බන්ධව මම හදවතින් ස්තුතියි වන්ත වෙනවා. සම්මාන උලෙළවල් විවේචනය කරන්න මට අයිතියක් නැහැ. මට තියෙන්නේ මං ගැන විවේචනයක් පමණයි. මට මාව විවේචනය කරගත්තොත් මාව හදාගන්න පුළුවන්. සම්මාන නොලැබුණ කාලේ විවේචනය කරලත් නැහැ, සම්මාන ලැබුණ කාලෙක විවේචනය කරන්න යොමු වෙලත් නැහැ. මට සම්මාන ලැබිය යුතු කාලයේ සම්මාන ලැබුණා. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2007 දී. මම මේ ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක හා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය. මගේ මුල් ගුරුවරුන් දෙදෙනා එච්.ඒ. පෙරේරා මහතා සහ මහේන්ද්‍ර පෙරේරා මහතා. අදටත් මහේන්ද්‍ර පෙරේරා මහත්තයාගෙන් රංගනය සම්බන්ධ සමහර කාරණා මම ඉගෙන ගන්නවා. 2007 සිට 2015 සම්මානය ලබාගන්නකම් මං මාව නිර්මාණය කරගත්තා. කාවිංග පෙරේරා කියන්නේ කවුද කියන අනන්‍යතාවය මම නිර්මාණය කරගත්තා. මම හිතන්නේ හරි වෙලාවෙදි හරි දේවල් මට ලැබුණා.

මේ වනවිට කාවිංග දකින්න ලැබෙන්නේ &මල් හතයි* ටෙලි නාට්‍යය නිර්මාණය තුළින්? 

ඔව්. එය සති අන්තයේ විකාශය වෙන්නේ. ඒ වගේම &මන්දාරම් ගිනි* කියන නිමේෂ් ලොකුබණ්ඩාර මහත්තයාගේ නිර්මාණයක් ආරම්භ කළා. මම ගොඩක් නිර්මාණ භාරගෙන කරන කෙනෙක් නෙමෙයි. මගේ කාල කළමනාකරණය කරගෙන නිෂ්පාදක ආයතනවලට අපහසුවක් නොවන විදිහට මම මගේ වැඩ කටයුතු සිදුකරනවා. &මල් හතයි* ගැන කතා කළොත් එහි එක් පුද්ගලයෙක් සතියේ දින හතට චරිත හතක් නිරූපණය කරනවා. එය ලොකු අභියෝගයක්. සමාජයේ සිටින සමහර පුද්ගයන් කාන්තාවන්ගෙන් මුදල් ලබාගැනීම අරමුණු කරගෙන කරන්නා වූ ක්‍රියා අන්තර්ගත වෙනවා.

කාවිංගට සිනමාවට වේදිකාවට දායක වෙන්න තවම අවස්ථාවක් හිමි වී නැහැ?

පාසල් යන කාලෙ දී මම වේදිකාවට සම්බන්ධ වුණා. නමුත් චිත්‍රපටවලට මට තවම ආරාධනාවක් ලැබුණෙ නැහැ. මම කාලයට භාරදීලා ඉන්න කෙනෙක්. මම හිතනවා කාලයත් එක්ක මට ඒ දේවල්වලට දායක වෙන්න ලැබෙයි කියලා. හිමින් යන තරමට ගමනක් තියනවා කියන විශ්වාසය මගේ හිතේ තියනවා. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබෙයි.

ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ වර්තමානයේ සිදුකරන නිර්මාණ ගැන කතා කළොත් ඒ ගැන සෑහීමකට පත්විය හැකිද?

මට උඩ බලාගෙන කෙළ ගහගන්න බැහැ. කලාව කියන්නේ මගේ දෙවැනි පවුල. ඕනම පවුලක තියන ප්‍රශ්න කවදාවත් එළියේ සමාජයට දෙන්නේ නැහැ. යම් යම් ආයතනවල, නිර්මාණකරුවන් අතර යම් යම් ගැටලු ඇති වෙනවා. ඒක සාමාන්‍යය ස්වභාවය. විදේශීය නාට්‍යය, රූපවාහිනි නාළිකාවල විකාශය කිරීම සම්බන්ධයෙන් නම් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ලංකාවෙ හොඳ අධ්‍යක්ෂකවරුන් සිටිනවා. ඒ වගේම හොඳ නිර්මාණ තිබෙනවා. විදේශ රටවල නිර්මාණ විකාශය කිරීම නැතිවෙලා යයි කියලා හිතනවා.

ඉදිරියේ දී දකින්න ලැබෙයි යනුවෙන් අදහස් කරන්නේ මේමොහොතේ එවැනි නිර්මාණ කිරීම අපහසුයි කියන එකද? 

මේ වනවිට හොඳ නිර්මාණ නිෂ්පාදන ආයතන බිහිවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙයි. එහෙම අපහසුවක් නැහැ, නිර්මාණ සිදුවෙනවා. ඒ නිර්මාණ මිනිසුන් අවශෝෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න තිබෙනවා. ප්‍රේක්ෂකයන් ඉක්මනට දෙයක් ගන්නෑ දෙපාරක් තුන්පාරක් හිතලා බලනවා. ඔවුන් ඒ නිර්මාණ ගැන නොතේරුම් ගැනීම නිසාම නිර්මාණ ප්‍රතික්ෂ්‍රේප කර තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී තමයි ඕනෑම නාළිකාවක් ගුවන් කාලය අලෙවි කරන්නේ කොහොමද කියලා හොයන්න උත්සහ කරන්නේ. ඒ උත්සහය තුළ දී ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ලංකාවෙ මිනිස්සු බුද්ධිමත්. ඔවුන් නිර්මාණ ගැන කතා කරන්න යොමුව තිබෙනවා. ඒ කතිකාවත එක්ක හොඳ නිර්මාණවලට ඉඩක් ලැබෙයි.

රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි සැලසුම් මොනවද? 

මට මුලින් රංගනයට යොමු වෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මම එය භාරගන්නේ නැහැ. මම මේ ගැන ඉගෙන ගන්නවා. රංගනය ගැන වසරක් පමණ වැඩමුළුවලට දායක වෙලා විදේශගතවත් ඒ ගැන ඉගෙන ගත්තා. මේ යන ගමනේ දක්ෂතම රංගන ශිල්පියා වෙන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. රංගනය එකවර හදාරන්න පුළුවන්කමක් නැහැ. හොඳ නිර්මාණවලට දායක වී දක්ෂතම රංගන ශිල්පියා වෙන්න උත්සහ කරනවා. මේ වනවිට ලැබෙන නිර්මාණවලට දායක වී ඒ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

 


 

සංවාදය : අද පුවත්පත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles