Wednesday, November 27, 2024

මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කරනවා – සංචාරක අමාත්‍ය

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පල කරයි.

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි.

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ පසුගිය වසරක කාලය තුල අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇතැයි ද මත්තල ගුවන්තොටුපල වාර්තා සඳහන් කරයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කෙරුණේ 2013 මාර්තු 18 වන දිනයි. එම වසරේදීගුවන් මගී මෙහෙයුම් 36,137ක් සිදුකෙරුනු අතර ගුවන්යානා මෙහෙයුම් 1520ක් සිදුකෙරිණි. 2014 වසරේදී ගුවන් මගී මෙහෙයුම් 40,386ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල සිදුව තිබේ.

මේ වනවිටත් ස්කයිඅප්, ගලිවර්, උස්බෙකිස්ථාන ගුවන්සේවය, කටාර්, එයා(ර්) ඒෂියා, මාලදිවයින් ගුවන්සේවය, සලාම් එයා(ර්) වැනි ජාත්‍යන්තර ගුවන්සේවා මත්තලට සිය ගුවන්ගමන් සිදුකරනු ලබයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට ද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ. ඒ අනුව ප්‍රධාන කාණ්ඩය තීරු බදු රහිත වෙළදසැල් දෙකක්, තේ අලෙවිසැලක්, ගෘහ විදුලි උපකරණ වෙළඳසැල් දෙකක් , සංචාරකසේවා කවුළුක්, ජංගම දුරකථන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපිත කර ඇත. ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමග එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles