Thursday, January 9, 2025

මත්ස්‍ය තහනම ඉවත ලෑමෙන් පසු ශ්‍රී ලංකා මාළු වලට හොඳ ඉල්ලුමක්..

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් පසු මේ වන විට මෙරට මත්ස්‍ය සම්පතට යුරෝපා රට වල ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මත්ස්‍ය අපනයන තහනම ඉවත් කළ පසුගිය මස 22 වනදා සිට මේ දක්වා මෙට්‍රික් ටොන් 152ක මත්ස්‍ය අස්වැන්නක් යුරෝපා රටවලට අපනයනය කර ඇති බව එම අමාත්‍යංශය කියයි.

මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන රැස්වීමක් ඊයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට මත්ස්‍ය අපනයනය ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට පියවර ගත යුතු බවයි.

මේ වන විට මෙරට උම්බලකඩ කර්මාන්තය වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි වසර දෙක තුළ උම්බලකඩ ආනයනය කිරීම අත්හිටුවීමට හැකිවනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 18,000ක පමණ මුදලක් අහිමි වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේය.

ලබන වසර අවසාන වනවිට මත්ස්‍ය අපනයනය මගින් රුපියල් මිලියන 20,000ක ආදායමක් ඉලක්ක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles