Friday, January 24, 2025

මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ මොනාක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක්‌ බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක්‌ බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්‍ෂි දුන් එම නිවසේ හිමිකාරිය වූ අනිකා විඡේසූරිය මෙනෙවියට සහ ඇයගේ පවුලේ අයට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ පවුලේ සමීප හිතවතකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවත් මේ හේතුවෙන් අනිකා විඡේසූරිය මෙනෙවිය රට හැර ගොස්‌ ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (17 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

අනිකා විඡේසූරිය මෙනෙවියගේ සොහොයුරකු වන විජිත් විඡේසූරිය මහතා විසින් ඊයේ මේ පැමිණිල්ල කොමිසමට සිදුකර ඇති බව ද ඒ පැමිණිල්ලට අනුව එම මරණීය තර්ජන එල්ල කර ඇත්තේ රවි කරුණානායක මහතාට ‘අන්කල් රවි’ යනුවෙන් අමතන අනිල් නෙත්තිකුමාර නමැත්තකු විසින් බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඉකුත් ඔක්‌තෝබර් 14 වැනිදා රාත්‍රියේ දුරකථනයෙන් මේ තර්ජනය සිදුකර ඇති බව විජිත් විඡේසූරිය මහතාගේ පැමිණිල්ලේ සඳහන් වන බව ද කෝදාගොඩ මහතා කීවේය.

එම පැමිණිල්ල ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙසත් ඒ අතර අනිකා විඡේසූරිය මෙනවියගේ පවුලේ අයට ආරක්‍ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

අපරාධ නඩුවල සාක්‍ෂිකරුවන්ට සහ වින්දිතයන්ට ආරක්‍ෂාව සැපයීමට හැකි නීතිරීති දැන් සම්මත වී ඇති බවත් ඒ සඳහා ක්‍රියා කිරීමට පොලිසියේ වෙනම ඒකකයක්‌ පිහිටුවා ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කොමිසමට පෙන්වා දුන්නේය.

අනිකා විඡේසූරිය මෙනෙවියට දුරකථන මගින් මරණීය තර්ජන කරන්න පටන්ගෙන ඇත්තේ ඇය කොමිසම හමුවේ සාක්‍ෂි දුන් පසුවය. එම තර්ජනවලට බියෙන් රට හැර ගිය ඇය මිතුරියකගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි පසුවත් ඇයට මරණ තර්ජන එල්ල කර ඇත.

ඊට පසුව යළිත් විදේශගත වූ ඇය මරණ තර්ජන ගැන කොමිසමට පැමිණිලි කරන ලෙස සිය සොහොයුරාට දන්වා ඇති බව කෝදාගොඩ මහතා කීවේය.

අනිල් නෙත්තිකුමාර සිදුකර ඇත්තේ බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බැවින් ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස පැමිණිලිකරු කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මේ ගැන සලකා බලා අවශ්‍ය පියවර ගන්නා බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles