Monday, September 23, 2024

මල්වානේ නඩුව: අත්සන මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ගෘහනිර්මාණ ශිල්පියා සාක්‍ෂි දෙයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස මහා අධිකරණයේ ඇති ලිපි ලේඛනවල අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාරන් නඬේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ පෙරේදා (14 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඇසූ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු පැවසීය.

දොම්පේ මල්වාන මාපිටිගම ප‍්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් සහ නාන තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාරන් නඬේසන් යන දෙදෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා 03ක් යටතේ ගොනුකර ඇති නඩුව, එම නඩුව විභාග කිරීමට පත් කර සිටින මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සහ රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා කළ හරස් ප‍්‍රශ්න හමුවේ පිළිතුරු දුන් මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

මම මීට ඉහත මෙම නඩුවේ සාක්ෂි ලබා දීලා තියෙනවා. 2016 වර්ෂයේ දී පූගොඩ මහෙස්ත‍්‍රාත් හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන් බව පිළිගන්නවා. 2015 වර්ෂයේ මැයි මස 22 දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගේ කාර්යාලයට කඩා වැදී එහි තිබූ ලිපිගොනු අරන් ගියා. ඔවුන් එන විට මා සිටියේ නැහැ. මා වෙනත් වැඩක යෙදී සිටියේ.

මා එතැනට පැමිණි පසු මාව කාමරයකට දැම්මා. මගේ කාර්යාලයත් නිවසක් පුංචි අම්මාගේ නිවසක් පවා එම නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා.

අල්මාරි ලාච්චු අවුස්සා ලිපි ගොනු හෙව්වා. මා සිටියේ හොඳ මානසිකත්වයෙන් නොවේ. ලිපි ලේඛන රැුසකට මගෙන් අත්සන් ගත්තා. මා විසින් අත්සන් නොකරපු ලේඛන ඔවුන් රැුගෙන ගියා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් රැුගෙන ගොස් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ලේඛනවල තිබෙන අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අත්සන හඳුනාගන්න මම අති දක්ෂයෙක් නෙවෙයි. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතාගේ හරස් ප‍්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් අනතුරුව මුදිත උපාලි ජයකොඩි යන සාක්ෂිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් සිදු කළ අතර සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප‍්‍රකාශ අසත්‍ය බවට සාක්ෂිකරු මහාධිකරණය හමුවේ දී පිළිගත්තේය.

නීතිඥ තිස්ස ගුණවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ඞී. ඒ. පී. වීරත්න, නවීන් මාරපන සහ තිලක් මාරපන යන ජනාධිපති නීතිඥවරුන් තිදෙනා පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් දෙවැනි විත්තිකාර තිරු කුමාරන් නඬේසන් වෙනුවෙන් ද පෙනී සිටියහ. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 01 වෙනිදාට කල් තැබුණි.

වාර්තාව – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles