Friday, September 20, 2024

මවක මෙන් පක්ෂය හා රට රැකගත් මැතිනිය

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍ය තුමිය බවට පත්වූ ගරු සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ උදාරතර වූ ජයග්‍රහණයට 2017.07.21 වැනි දිනට වසර 57ක් සම්පූර්ණ වේ.

පොදුජන යුගයේ නිර්මාතෘ ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා අවස්ථාවාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසුව ඔවුන්ගේ ඊළඟ අරමුණ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඝාතනය කිරීමය. එහෙත් එම බලාපොරොත්තු කිසි දිනෙක ඉටු නොවීය. එදා මුහුද ගොඩ ගලද්දී රට වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වූ විහාරමහා දේවිය ද, සතුරන් පසුපස හඹා එද්දී රථයට වේගයෙන් ගමන් කිරීමට නොහැකි වුවහොත් වළගම්බා රජතුමා සතුරන් අතට පත්වීමෙන් වන විනාශය ක්ෂණිකව වටහාගෙන රථයෙන් බිමට පැන සතුරන් අතට පත් වූ සෝමා දේවිය ද අනුව ගිය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පියා අහිමි දරු තිදෙනා ජාතියට භාර කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධජය බිම වැටෙන්නට නොදී සියතට ගත්තේ ශ්‍රී ලංකාවාසීන්ගේ වාසනාව නිසා විය හැකිය. ගැහැනුකම උපහාසයට ලක්කරමින් ප්‍රතිවාදීන් කරන ලද නීච ප්‍රකාශනවලට ජනතාව උත්තර දුන්නේ කාන්තා නායිකාවගේ පක්ෂය 1960 ජුලි 21 වැනිදා ජයග්‍රාහී කරවමිනි.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස කොළඹ රජගෙදරදී දිවුරුම් දී වැඩ භාරගත් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ජාතිය අමතා මෙසේ ප්‍රකාශ කළාය.

“පක්ෂයේ නායකයන්ගේ ඉල්ලීම අනුව නායකත්වය භාර ගන්නා විට පෞද්ගලික කීර්තියක් ලබාගැනීමක් මගේ සිත් තුළ නොවීය. මා මෙබඳු පියවරක් නොගත්තේ නම් මගේ ස්වාමිපුරුෂයා ස්වකීය ජීවිතය පූජා කොට රැකගත් මහජනතාව ප්‍රතිගාමීන්ගේ බලවේග මඟින් නැවත වරක් පාගාගන්නා බව මම දැනගෙන සිටියෙමි. මා සහ මගේ පක්ෂය ආගම හා ජාතිය කුමක් වුවත්, මෙරට ජනතාව වෙත සිය උරුමයන් සාධාරණවත්, සමානවත් ලබාදීමට හැකි හැම දෙයක්ම සැම විටම කරන්නෙමු. අප පක්ෂය බලයේ සිටිනතාක් රට බෙදීමක්වත්, සුළු ජාතීන්ට අසාධාරණයක් සිදුවීමක්වත් ගැන කිසිවෙකු තුළ බියක් හටගත යුතු නොවේ.”

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 වසරේ ආරම්භ කළ දේශපාලන ගමන්ම‍ඟේ අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය තනතුර දැරුවාය. බණ්ඩාරනායක මැතිනියගේ උදාර වූද, අපක්ෂපාතී වූද, අමිල වූද මෙහෙවර ගැන කථා කරන විට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදුන් උදාරතර නායකත්වය අදටත් ඉතිහාසයට එක්වී අවසානය. එදා මෙදාතුර කිසිම පක්ෂයකට මෙවැනි නොසෙල්වෙන නායකත්වයක් ඇති නම් ඒ මැතිනියගේ නායකත්වයම පමණක් විය හැකිය. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කළ තරමටම පාක්ෂිකයෝ ද ඇයට ආදරය කළහ. විකල්ප තෝරා ගැනීම් පිළිබඳව මතිමතාන්තර ගොඩ නැ‍ඟෙනවා වෙනුවට මැතිනිය ‘අම්මා’ යන අනවර්ථ නාමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මවක ලෙස රැකගත්තාය. පියෙකු අහිමි වූ කල දරුවන්ට මවගේ ආදරය අන් කවරදාකටත් වඩා වටින්නේය. ඒ බව දන්නා මව දරුවන් ළංකර ඇද බැඳ තබාගන්නේ යම් ලෙසකින් ද මැතිනිය කාලානුරූපී වෙනස්කම්ද කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරුවෙකු මෙන් රැකගත්තේ එතුමිය ඉතිහාසයට එකතු කළ ජනතාවට නිසි ගෞරවයද ලබා දෙමිනි.

ලෝකයේ ප්‍රථම අගමැතිතුමිය බවට පත්වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද තනතුරේ ගෞරවය දිවි හිමියෙන් රැකගත්තාය. කාන්තාවන් වුවද කිසි දිනෙක විශේෂ වරප්‍රසාද ඉදිරියේ හිස නොනැමූ මැතිනිය “ඉන්දීය සාගර සාම කලාප” යෝජනාව ඉදිරිපත් කරමින් අධිරාජ්‍යවාදීන් ඉදිරියේ ද නොසැලී කටයුතු කළාය. ඉන්දු – චීන අරගලවලදී සාමයේ දූතිකාව ලෙස රටවල් අතර සම්බන්ධීකරණය කරමින් විජයග්‍රාහීව තම යුතුකම ඉටු කළාය. කිසි දිනෙක පාවාදීම් හෝ පැහැර ගැනීම් නොකළ මැතිනිය මියයන තුරුම ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීමේ අභිමානය රැකගත් බව සටහන් තබන්නේ හද පිරි ගෞරවයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles