Saturday, September 21, 2024

මහපොළ වංචාව!

මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලට අයත් මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය හෙවත් SLIITදූෂිත ලෙස මංකොල්ලකෑමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම. මහපොලට සිදුව ඇති පාඩුව දැනට රුපියල් කෝටි 4,000 කි. (මිලියන 40,000/- කි)

හිටපු අමාත්‍ය ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් මහපොල භාරකාර අරමුදල ආරම්භ කළේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුල් වන ආර්ථික අපහසුතා තිබෙන දූදරුවන් හට ශිෂ්‍යත්ව ලබා දීමටයි. ආරම්භක භාරකාර මණ්ඩලයේ සභාපති වූයේ එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මැතිතුමා ය. පසුව එකී භාරය 1981 අංක 66 දරන මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත මඟින් ව්‍යවස්ථාපිත භාරයක් බවට පත් කළේ ය. එම අරමුදලින් ශිෂ්‍යත්ව ලබා උපාධිධාරීන් බවට පත්වූ සංඛ්‍යාව 317,000 කි. දැනට ශිෂ්‍යත්ව ලබා ගනිමින් සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 66,214 කි. 2014 අග වන විට එහි පැවති මුදල රුපියල් කෝටි නවසිය විසි එකකි (රු. 9,210,000,000). 2015 ජනවාරි පත් වූ යහපාලන ආණ්ඩුවේ මහපොල අරමුදල භාර ව සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වන අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූයේ ආචාර්ය සරත් අමුණුගම මහතා ය. එකල මහපොල භාරකාර මණ්ඩලයේ භාරකරුවෙකු වශයෙන් පත්වූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා සහ තවත් අධ්‍යක්ෂකවරයකු විසින් මහපොලට පූර්ණ හිමිකම තිබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය හෙවත් SLIIT,එම ආයතනය පාලනය කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික (guarantee) සමාගම වෙත පවරා දී ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ සංකල්පයක් මත තොරතුරු තාක්ෂණ විෂය ප්‍රචලිත කොට එමඟින් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා සහ ගාස්තු අයකරමින් පවත්වා ගෙන යනු ලබන එම ආයතනයෙන් ලැබෙන ලාභය මහපොළ භාරකාර අරමුදල හරහා රාජ්‍ය විශ්ව විද්‍යාල වල දුගී දුප්පත් සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා ය. ඒ සඳහා මහපොල භාරකාර අරමුදල මාලබේ ප්‍රදේශයේ අක්කර 25 ක් මිලට ගත් අතර ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රුපියල් 500,000,000 ක් (මිලියන පන්සීයක්) චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ලබා දුනි. එවකට වෙළඳ අමාත්‍ය කිංස්ලි වික්‍රමරත්න සහ අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථාපනය කළ එම ආයතනයේ පාලනය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික (guarantee) සමාගම පිහිටුවන ලදී. එහි අධ්‍යක්ෂකවරුන් විය හැක්කේ අමාත්‍යංශ ලේකම්වරු වැනි රාජ්‍ය නිල දරන නිලධාරීන්ට පමණි.

මහාචාර්ය ලලිත් ආර්. ගමගේ එහි අධ්‍යක්ෂක වරයකු බවට පත් වූයේ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු වී සිටි නිසා සහ එවකට අමාත්‍ය වික්‍රමරත්න මහතාගේ බෑණා වීම නිසා තිබූ සම්බන්ධතාව හේතුවෙනි. මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක එහි අධ්‍යක්ෂකවරයකු වූයේ ද මොරටුව විශ්ව විද්‍යාලයේ දේශකයකු වශයෙන් සිටි නිසා ය. තිලාන් විජේසිංහ අධ්‍යක්ෂකයකු වූයේ ආයෝජන මණ්ඩලයේ සභාපති නිලය දැරූ නිසා ය. ඔවුන් තිදෙනා රාජ්‍ය සේවයේ තනතුරු අහිමි වී යෑමෙන් පසුව ද බලහත්කාරයෙන් අධ්‍යක්ෂකවරු වශයෙන් තවදුරටත් ක්‍රියා කළ අතර එහි අධ්‍යක්ෂකවරුන් වශයෙන් සිටි අධ්‍යාපන, වෙළඳ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් විශ්‍රාම ගිය විට කුමන්ත්‍රණකාරී ලෙස රජයේ සේවයේ නොමැති පිටස්තර යහලු මිත්‍රයන් අධ්‍යක්ෂකවරුන් ලෙස පත්කර ගෙන පෞද්ගලික බූදලයක් ලෙස පාවිච්චි කළහ.

2015 මැයි 12 වන දින මහපොල අරමුදල් භාරකාර මණ්ඩලයේ කිසිදු යෝජනා සම්මතයකින් තොරව විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ හිමිකම රුපියල් 408,000,000/- (මිලියන හාරසිය අටක) ට SLIIT guarantee සමාගමට පවරා ඇත. එකී ඉඩම වසර 60 කට බදු දුන් බවට ද ගිවිසුමක් ලියා ඇත. විකුණා ඇති ලේඛනයේ සඳහන් කර ඇත්තේSLIIT guarantee සමාගම මහපොලෙන් රුපියල් මිලියන 373 ක ණයක් ගත් බවත්, එහි පොලියත් සමඟ මිලියන 408 ක් මහපොලට ගෙවා SLIITආයතනයේ හිමිකම එම SLIIT guarantee සමාගම පවරා ගත් බවත් ය.

F.J. & G De Saramනීතිඥවරු ලියූ බවට සහතික කළත් ඒවායේ නොතාරිස් සහතිකයක් හෝ නොමැත. එම ලේඛන දෙකට සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ජයවික්‍රම පෙරේරා හා සරත් අමුණුගම අමාත්‍යවරු දෙදෙනා වීම පුදුම සහගත ය.තව ද 2017 මැයි 04 දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කරමින් SLIITආයතනයේ පාලනය මුලුමනින් ම රජයෙන් ඉවත් කොට ඉහත කී SLIIT guarantee සමාගමට පැවරීමට යෝජනා කර තිබූ අතර ඒ අනුව 2017 ජුනි 28 දිනැති ගැසට් පත්‍රය මඟින් එය මුලුමනින් ම රාජ්‍ය පාලනයෙන් ඉවත් කරන ලදී.

විජයදාස රාජපක්ෂ මහතා 2018 මැයි මස උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ඉහත කී වංචාව අනාවරණය කර ගන්නා ලදී. ඒ අනුව මහපොල භාරකාර ව්‍යවස්ථාපිත අරමුදලේ භාරකාර මණ්ඩලයේ යෝජනා සම්මතයක් නොමැති ව ඉහත කී ලලිත් ආර්. ගමගේ, ලක්ෂ්මන් රත්නායක, තිලාන් විජේසිංහ යන අය අරමුදල් භාරයේ එක් සාමාජිකයකු වූ වික්‍රම වීරසූරිය මහතා මඟින් ලිපි ලේඛන සකස් කර ඔහු විසින් අත්සන් කොට එය විකුණා ඇති බව හෙළිදරව් කරගන්නා ලදී.

මහපොල භාරයේ සභාපති වන්නේ නිල බලයෙන් එවකට ධුරය දරන අගවිනිසුරුවරයා ය. 2019 මැයි මාසයේ අගවිනිසුරු සහ භාරයේ සභාපති කේ. ශ්‍රීපවන් මැතිතුමාගේ කරුණු විමසූ විට එතුමන් පැවසුවේ භාරකාර මණ්ඩලය කිසිදු යෝජනාවක් සම්මත නොකළ බවත්, වික්‍රම වීරසූරිය විසින් චෙක්පතක් පෙන්වා සිටිමින් SLIITආයතනයෙන් අයවිය යුතුව තිබූ ණය මුදලක් වන රුපියල් මිලියන 408 ලබාගත් බවසදහන් කළ බවපැවසූ බවත් සඳහන් කරන ලදී. අත්සන් කරන ලද ගිවිසුම් දෙක අගවිනිසුරුතුමාට පෙන්වා තිබුණේ ද නැත. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමති ලෙස විජයදාස රාජපක්ෂ මහතා 2018 අගෝස්තු 13 අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට බලශූන්‍ය ගිවිසුම් දෙක ඉවත් කොට එහි හිමිකම සහ පාලනය භාරකාර අරමුදලට පවරා ගැනීමට ඉල්ලා සිටියේ ය. එම යෝජනාවට ජයවික්‍රම පෙරේරා සහ සරත් අමුණුගම විරුද්ධ වුවත් 2018 සැප්තැම්බර් 11 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කොට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුනි. එය රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීම සඳහා 2017 මෛත්‍රීපාල ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලද්දේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේෂකයකු ව සිටි වික්‍රම වීරසූරිය ඉදිරිපත් කරන ලද කරුණු මත විශ්වාසය තබමින් බවත්, ඔහු නීති විරෝධී කටයුත්තක් කර ඇති බව දැනගත්තේ විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් සංදේශය ඉදිරිපත් කළ පසු බවයත් සදහන් කළේය.
එකී කරුණු සම්බන්ධ ව 2018 සැප්තැම්බර් 08 විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරමින් එකී ගනුදෙනුව මුලුමනින් ම නීති විරෝධී බව දන්වා එම අවස්ථාවේ මහපොලට සිදු වූ අලාභය ලෙස රුපියල් මිලියන 1,645(කෝටි 164.5)ක මුදලක් භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අයකර ගන්නා ලෙසට දන්වා ඇත.2018 ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩු වෙනස නිසා රාජපක්ෂ මහතා එම අමාත්‍යංශ නොදැරූ හෙයින් එය ක්‍රියාත්මක කිරීම වැලකී ගියේ ය. රාජපක්ෂ මහතා 2019 පෙබරවාරි 29 වන දින එකී වංචාව නිසා මහපොලට වී ඇති අලාභය රු. 23,000,000,000/- (රුපියල් කෝටි 2,300 ක්) පාඩු වී ඇති බව දන්වා එකී දූෂිත ගනුදෙනුවේ අපරාධකරුවන්ට නඩු පවරන ලෙසට ඉල්ලීමක් කළේ ය. එහි අංකය BC 547/2019කොමිසම රාජපක්ෂ මහතාගෙන් දෙවතාවක් ප්‍රකාශ ලබාගත්ත ද කිසිදු පලක් නොවීය.

2019 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා රාජ්‍ය අංශයේ සිදු වී ඇති දූෂණ සොයා බැලීමට මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත් කළ ජනාධිපති කොමිසම 2019 පෙබරවාරි 19 වන දින රාජපක්ෂ මහතා පැමිණිලි කළේය. එහි දී ඔහු සහ හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ද සාක්ෂි දුන්නේ ය. කොමිසමේ නිර්දේශ මෙසේ ය.
1) එකී අපරාධයට වගකිව යුත්තේ මහාචාර්ය ලලිත් ආර්. ගමගේ, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, ආචාර්ය වික්‍රම වීරසූරිය, මංජුලා සාගරා ඇල්ලේපොල, ගාමිණී ජයවික්‍රම පෙරේරා, අනිල් රාජකරුණා ය.
2) දණ්ඩ නීති සංග්‍රහයේ 492, 454, 388 සහ 389 වගන්ති යටතේ නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහි ව නඩු පැවරිය යුතු ය.
3) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම පැමිණවීම සඳහා අල්ලස් කොමිසම මඟින් ඔවුන්ට විරුද්ධ ව නඩු පැවරිය යුතු ය.

ඒ කිසිවක් මේ දක්වා සිදු වී නැත.

2019 ආණ්ඩු වෙනසින් පසු උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2019/12 කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් SLIITආයතනය මහපොලට පවරා දෙන ලෙසට ඉල්ලා ඇත. ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත්කොට 2020 ජනවාරි 20 දින සිට සති 3 ක් ඇතුළත නිර්දේශ ඉල්ලා ඇතත් එම කමිටුව රැස් වී හෝ නිර්දේශ ලබා දීම අද දක්වා සිදුකොට නැත. 2021.04.26 දිනැති COPE වාර්තාව මඟින් ද ඉහත කී වංචාව සිදුව ඇති බවට සටහනක් කොට ඇත. නමුත් කිසිදු පියවරක් ගෙන නැත. ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා ඔහුගේ නමින් ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා පහත සඳහන් සහන අයැද ඇත.
1) ඔහු විසින් කැබිනට් අනුමැතිය ලබාගත් 2018.09.11 දිනැති තීන්දුව ක්‍රියාත්මක කොට SLIITආයතනය මහපොලට පවරා ගැනීමට නියෝග කිරීම.
2) ජනාධිපති කොමිසමේ නිර්දේශය අනුව ඉහත කී වගකීම් දැරිය යුතු තැනැත්තන්ට එරෙහි ව අධිචෝදනා ඉදිරිපත් කරන ලෙසට නීතිපති වෙත කෙරෙන නියෝගයක්.
3) එකී තැනැත්තන්ට එරෙහි ව අල්ලස් පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරන තීන්දුවක්.

4) SLIITආයතනය 2015 මැයි සිට නඩුවේ තීන්දුව දෙනු ලබන දින දක්වා උපයා ඇති සියලු ම ලාභ මහපොල අරමුදලට බැර කරන ලෙසත්,
5) එකී SLIIT guarantee සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් මිලියන 100 ක් වන්දි ලෙස මහපොල අරමුදලට ගෙවන ලෙසට කෙරෙන නියෝගයක්.

6) නඩුව අසා තීන්දු කරන තෙක් SLIITආයතනයේ වත්කම් විකිණීම, බැහැර කිරීම තහනම් කරන නියෝගයක් ලබා දෙන ලෙසත් ය.
පෙර පැවති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තියද හොරුන් දූෂිතන් රැකීම නිසා මෙම නඩුව පැවරීමට සිදුව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles