සම්මානනීය ගත්කතුවරයකු, කවියකු, ජනශ්‍රැති පර්යේෂකයකු මෙන්ම විශිෂ්ට ගණයේ භාෂා පඬිවරයකු වූ මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා ඊයේ (6) අභාවප්‍රාප්ත විය.
ගුණසේකර මහතා මියයන විට 93 වන වියෙහි පසුවිය.
ගාල්ල, ගිංතොට දී 1927 දෙසැම්බර් 18 වැනිදා උපත ලැබූ බන්දුසේන ගුණසේකර මහතා 1951දී ආධුනික ගුරුවරයකු ලෙස පළමුවෙන්ම වැල්ලතොට සුගතනන්ද විදුහලට පත්වීම ලබා පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණුව ද ලැබීය.
පාසල් කිහිපයකම සේවය කළ හෙතෙම ගාල්ල විජය විදුහලේ ප්‍රධානාචාර්යවරයා ලෙස ද පත්වූ අතර, පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත්ව, ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට 1959 වසරේ දී ඇතුළු වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තේය. ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1971 දී ඇතුළත්ව ආචාර්ය උපාධිය ලබා 1974දී යළි මෙරටට පැමිණි ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. ඔහු පොත පත රචනා කරමින් සිංහල සාහිත්‍යයටද විශාල සේවාවක් ඉටු කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හෙතෙම රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ඉල්ලීම අනුව එහි සිංහල අංශයේ උපදේශක මහාචාර්යවරයා ලෙස ද කටයුතු කළේ ය.
ඔහු විසින් ලියා පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව අසූවකට අධික වන අතර එම ග්‍රන්ථ අතර පර්යේෂණ කෘති, සාහිත්‍ය විචාර ග්‍රන්ථ, පරිවර්තන, ඓතිහාසික නවකතා, වීර චරිත නිර්මාණ, කාව්‍ය නිර්මාණ, යොවුන් සාහිත්‍ය කෘති, ආදර්ශ ළමා සාහිත්‍ය ග්‍රන්ථ ආදිය ද වේ.
ඔහු 1985 දී ශ්‍රී ලංකා සෝවියට් මිත්‍ර සංගමයෙහි අනුග්‍රහයෙන් සෝවියට් දේශයේ පුෂ්කින් භාෂා ආයතනයට අධිශිෂ්‍යත්වයක් ලැබ රුසියන් භාෂාව ද හදාරා ඇත.
රුහුණු කලා හවුලේ සභාපති, ළමා ග්‍රන්ථ පර්යේෂණ මණ්ඩලයේ සභාපති ඇතුළු විවිධ භාෂා, සාහිත්‍ය, සංස්කෘතික හා කලා සංගම් රාශියක නිලතල හා අනුශාසක ධුරයන් ද ඔහු විසින් හොබවනු ලැබීය.
ගාල්ල මහාචාර්ය බන්දුසේන ගුණසේකර මාවතේ අංක 48 නිවසේ දේහය තැන්පත්කර ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.