Friday, September 20, 2024

මහින්ද රාජපක්ෂ දෙබිඩ්ඩෙක්-ඇමති නිරෝෂන් පෙරේරා

දේශපාලන උගුලක සිරවී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ වන විට දේශපාලන දෙබිඩි පිළිවෙතක නිරත වී සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
වත්මන් දේශපාලන තත්වය පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය,
“ මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව අගෝස්තු 17 වන දා පැවති මහමැතිවරණය දක්වා මාස 08ක් වැනි කාලසීමාවක් තුළ ආණ්ඩුව පවත්වා ගෙන යනු ලැබුවේ  සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සමඟින් බව රහසක් නොවේ.  එහෙත් විමතියට කරුණවන්නේ එම කාල සීමාව තුළ පාර්ලිමේන්තුව තුල දී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තමන්ට පක්ෂපාති බව කියාගන්නා මහින්ද අවම වශයෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෝ ගෙන ඒමෙන් වැළකීමයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්ද, පාර්ලිමේන්තුව තුළදී බොහෝ අවස්ථාවල ආණ්ඩුවට විරුද්ධව ඡන්දය නොදී මඟහරිමින් සිටීම සහ අවම වශයෙන් අයවැයට පවා ඡන්දය නොදීමෙන් පෙනී යන්නේ ඔහු දේශපාලන උගුලක සිරවී සිටින බවයි.
සයිටම් අර්බුදය පිලිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කර සිටින්නේද දෙබිඩි කතා බව කිවයුතුයි. එදා සයිටම් ආයතනය ආරම්භ කිරීමට මිලියන ගනනින් මුල්‍ය පහසුකම් සැපයු රාජපක්ෂ පාලනය අද ප්‍රකාශ කරන්නේ තමන් ඊට විරුද්ධ බවයි. තවදුරටත් ප්‍රකාශ කළයුතු වන්නේ  තමන්ගේ දේශපාලන බලය පුළුල් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද සහ ඔහුගේ අනුගාමිකයන්ගේ දේශපාලන බල්ටි ගැසීම් හෙළා දැකිය යුතු බවයි. කෝටි ගණන් ගිණි පොලී ණය ගෙන හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ වැනි ආර්ථික ප්‍රතිලාභ රහිත ව්‍යාපෘති  ක්‍රියාත්මක කල හිටපු ජනාධිපතිවරයා එම ව්‍යාපෘති ඵලදායී ආයෝජන කලාප බවට පත් කිරීමේදී විරුද්ධ වීම දේශපාලන බල්ටි ගැසීමට තවත් උදාහරණයක් ලෙස සැලකිය හැකියි.
මෙරට පළාත්සභා බහුතරයක් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ මහ ඇමැතිවරුන් යටතේ ක්‍රියාත්මක වේ. එම පළාත්සභා යටතට අදාළ ප්‍රදේශවල ජනතාවට වඩාත් සංවේදී අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අංශ රැසක් අයත්. රට දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක සිරවී ඇති බව පුන පුනා පවසන මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය මුලින්ම කළ යුත්තේ පළාත්සභා බල තුලනයන් වෙනස් කර ඒවා පෙරලා දැමීමයි. මම  අභියෝග කරන්නේ හැකිනම් එක පළාත් සභාවක් හෝ පෙරලා දමා ආණ්ඩුව පෙරළීමේ පළමු වෙඩිමුරය තබනා ලෙසටයි. “

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles