Sunday, January 12, 2025

මහ වැස්සෙන් දහස් ගණනක් අනාථයි..

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(11) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමිටර් 60 ක් දක්වා තද සුළං සහ උතුරු , උතුරු මැද, වයඹ , බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමිටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

මන්නාරම සිට කොළඹ ගාල්ල , සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට අමතරව ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළුවිය හැකි බව කාලගුණ අනාවැකියේ සදහන් වේ.

මේ අතර අධික වැසි සමඟ ඇතිවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ, අධික වැසි හා සුළඟින් දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ලවී ඇති බවය.

මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, රත්නපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුද හා නාවික හමුදා කණ්ඩායම් අනියුක්ත කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles