Thursday, January 23, 2025

මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න මාධ්‍ය අරුණ

සත්‍යය වාර්තා කරමින් ජනතාවට අවශ්‍ය නිවැරදි හා වැදගත් තොරතුරු සන්නිවේදනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යවේදීන් වෙතයි. එම සුවිශේෂ භූමිකාවට උරදෙන විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත මාධ්‍යවේදීන් සමාජයේ බුහුමනට හා ඇගයුමට නිරතුරු පාත්‍ර වන අතර වත්මන් යහපාලන රජයද මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඇප කැප වන බවට ජනතාව හමුවේ ශපත කර තිබේ. ඒ අනුව විවිධ අභියෝග, දුෂ්කරතා මැද මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු මාධ්‍යවේදීන් සදහා පහසුකම් ලබා දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් “මාධ්‍යඅරුණ” නමින් මාධ්‍ය විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇත.

මාධ්‍යවේදීන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීමට හෝ නව උපකරණ මිලට ගැනීමට අවස්ථාව ලබාදීම මෙම විශේෂ ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන අතර “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ සහන පොලී ණය වැඩසටහන” යටතේ මෙම “මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය හදුන්වා දී තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය හරහා කිසිදු පොලී මුදලක් අය කිරීමකින් තොරව උපරිම ලක්ෂ තුනක් දක්වා වන ණය මුදලක් මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙත ලබාදෙන අතර එලෙස ලබා ගන්නා ණය මුදල් සමාන වාරික ලෙස වසර පහකින් ආපසු ගෙවීමටද පහසුකම් සලසා ඇත. මීට අමතරව මාධ්‍යවේදීන් සතු දැනට පවතින මාධ්‍ය උපකරණ වැඩි දියුණු කිරීම උදෙසා රුපියල් එක් ලක්ෂ පනස් දහසක් දක්වා වන ණය මුදලක් 6.75% ඉතාම සහනදායී පොලී අනුපාතයක් යටතේ ලබා දීම සදහාද මෙම “මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය යටතේ කටයුතු යොදා තිබේ.

“මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් තෝරාගත් මාධ්‍ය වේදීන් සදහා අවශ්‍ය ණය මුදල් ලබා දීමේ ප්‍රධාන වගකීම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් ලෙස පිළිගැනෙන මහජන බැංකුව විසින් භාර ගෙන ඇත.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන පසුගිය වසරේද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණු අතර වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු පිළිගත් විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හා අර්ධකාලීන පදනම මත සේවයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මෙම විශේෂ “මාධ්‍යඅරුණ” ණය යෝජනා ක්‍රමයට අයදුම් කළ හැකි වේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් එලෙස ලැබෙන අයදුම්පත් පිළිබදව සලකා බලා සුදුසු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකටද භාජනය කර ඉතාම විධිමත් ලෙස මෙම ණය මුදල් ලබා දීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

මේ අතර “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය වැඩසටහන” යටතේ ණය ප්‍රධානය කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියේ සත්‍ය ගවේෂණයේ යෙදෙන වගකිවයුතු මාධ්‍යවේදීන් ඇගයුමට ලක් කිරීමට “මාධ්‍ය අරුණ” ණය වැඩසටහන තුළින් තම රජය කටයුතු යොදා ඇති බවයි.මෙම ණය ලබා දීමේදී පොලී සහනාධාරය ලබා දීමට රජයට අති විශාල මුදලක් වැය වුණද රජය එය වැය බරක් ලෙස නොසළකන බවත් පොරොන්දු වූ ප්‍රකාරව නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමට සමත් වුණු වත්මන් රජය ඉදිරියේදී තවදුරටත් සියළු මාධ්‍යවේදීන් සදහා තම වෘත්තිය ගෞරවාන්විතව ඉටු කිරීමට අවශ්‍ය සෑම සහයක්ම හා පහසුකමක්ම ලබා දීමට විශාල ආයෝජනයන් සිදු කරන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles