Thursday, January 23, 2025

මානව දයාවෙන් ජීවිත පුරවා ගනිමු

බුදු දහමේ උතුම් සහනසීලත්වයෙන් සහ මානව දයාවෙන් අපේ ජීවිත පුරවා ගැනීමට මේ උතුම් දිනයේදී අදිටන් කර ගනිමු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොසොන් පණිවිඩයේ සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ පොසොන් පණිවිඩයේ මෙසේද දැක්‌වේ.

අනුබුදු මිහිඳු හිමියන් ලක්‌දිවට වැඩම කර බුදුදහම හා බුදු සසුන ස්‌ථාපිත කරමින් බෞද්ධ සංස්‌කෘතියේ හා බෞද්ධ ශිෂ්ටාචාරයේ අපූර්ව ලක්‍ෂණවලින් සිංහල සංස්‌කෘතිය හා සිංහල සභ්‍යත්වය විචිත්‍ර කළ ඓතිහාසික මතක සටහන් සිහිපත් කෙරෙන පොසොන් පොහෝ දිනය හෙටයි. වසර දෙදහස්‌ තුන්සිය විසිතුනක්‌ (2323) සපිරි එම ඓතිහාසික සිදුවීම සිංහල සංස්‌කෘතියේ පුනරුත්පත්තිය ලෙස විද්වත්හු අගයති. එදා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වු බුදුදහම හා බෞද්ධ දර්ශනය තුළින් අප ලද අධ්‍යාත්මික ප්‍රබෝධය ද සංස්‌කෘතික ආඪ්‍යත්වය ද අසාමාන්‍ය විය.

අවිහිංසාව, සහනසීලත්වය, මානවබන්ධුත්වය, සමානාත්මතාව හා අපිස්‌ සරල චාම් ජීවන චර්යාවද අදීන චින්තනය ද අපගේ ආඪ්‍ය සංස්‌කෘතික ලක්‍ෂණ බවට පත් වූයේ ද මහින්දාගමනයේ අග්‍රඵල වශයෙනි.

සිංහල භාෂා සාහිත්‍ය මතු නොව සෞන්දර්ය කලා ශිල්ප යනාදියත් පෙර නොවූ විරූ විචිත්‍රත්වයකින් හා භාව පූර්ණත්වයකින්ද උඡ්වලිත වූයේ ඒ සංස්‌කෘතික පුනරුදය නිසාමය, අනුරාධපුර සමාධි පිළිමය, සඳකඩ පහන, අවුකන පිළිමය වුවද ඒ සංස්‌කෘතික දායාදය සමස්‌ත ලෝකයටම හඬගා කියන සංකේත වැන්න.

ඉතිහාසයේ වරින්වර මතු වූ කිසිදු ආක්‍රමණයකට හෝ බලවේගයකට අපගේ ඒ සංස්‌කෘතික ආධ්‍යාත්මය බිඳ දැමීමට නොහැකි වු බව ද මේ උතුම් පොසොන් දිනයේදී සිහිපත් කළ මනාය. ඒ නිර්මල දහමත් සුනිමල සංස්‌කෘතියත් සමඟ පිබිදුණු අපට අපගේ දුහුල් තැන් ලිහිල් තැන් විමසා බලා හෙට ලොව දෙස මෙත් සිතින් බැලීමට බාධාවක්‌ නැත. බුදුදහමේ උතුම් සහනසීලත්වයෙන් හා මානව දයාවෙන් අපේ ජීවිත පුරවා ගැනීමට මේ උතුම් දිනයේ අදිටන් කර ගනිමු.

ඔබ සැමට බුදුදහමේ ශාන්තිය ද, අනන්ත බලය ද, තුණුරුවන්ගේ ආශිර්වාදය ද ලැබේවාෘ  diwaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles