Tuesday, January 21, 2025

මාස තුනකට පසු පළමු සහ දෙවන සයිනොෆාම් එන්නත්වල ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

කොරෝනා එන්නත් පළමු සහ දෙවන මාත්‍රා ලෙස සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3 ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර උපදෙස් දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට භාවිත කෙරෙන කොරෝනා එන්නත්වල මාස තුනකින් අනතුරුව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව සංසන්දනය කිරීමේ අධ්‍යනයක ප්‍රතිඵල උපුටා දක්වමින්.

එහිදී ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව ඉක්මනින්ම වියැකී යන්නේ සයිනොෆාම් එන්නතේ බවයි අනාවරණ වී ඇත්තේ.

දෙවන මාත්‍රාව ලබා මාස 3 කින් අනතුරුව වැඩි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ මොඩර්නා එන්නතයි.

ස්පුට්නික් වී, ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී පළමු මාත්‍රාව ඊළඟට වැඩිම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

එම ලැයිස්තුවේ අවම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා ඇති එන්නත වන්නේ සයිනොෆාම් එන්නතයි.

සයිනොෆාම් එන්නත දැනට වැඩි වශයෙන් භාවිත කළ කොරෝනා එන්නත වන අතර, ශ්‍රී ලාංකිකයන් කොරෝනා ආසාදනයෙන් රෝහල් ගතකිරීම සහ මරණ අවම කිරීමට හේතුවූ බව අවිවාදාත්මක කරුණක්.

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ එන්නත් තවදුරටත් රෝගී තත්වය අසාධ්‍ය තත්ත්වයට පත් කරලීම වළක්වනු ඇති බවයි.

ඔබ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින මෙන්ම කොරෝනා ආසාදනය වී සුවය ලබා සිටින අයෙකු නම් වර්ධක එන්නත් මාත්‍රාව මාස හයක් දක්වා කල් දැමිය හැකියි.

එවැනි තත්ත්වයක් හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් ප්‍රතිශක්තියක් ලද අවස්ථාවක් ලෙස සැලකෙනවා.

කෙසේ නමුත්, එහිදි එක් එක් පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය තත්වය සහ ඖෂධවලට දක්වන ප්‍රතිචාරය ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

මේ නිසා ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles