Saturday, December 28, 2024

මාස හතරක් තිස්සේ සීනි වරායේ

ආනයනය කර තිබෙන සීනි තොග මාස හතරකට ආසන්න කාලයක් වරායේ බහලුම් තුළ තැබීමට සිදුවීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බැවින්, ඒ සඳහා සහනයක් සලසන ලෙස සීනි ආනයනකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මේ වනවිටත් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම මත සීනි කිලෝවක මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත්, තවදුරටත් බහාලුම් තුළ තැබීමට සිදුවුවහොත්, සීනි කිලෝවක් සඳහා අධික මිල ගණන් අය කිරීමට සිදුවන බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

සිමෙන්ති හා සීනි හිඟයක් මේ දිනවල රට තුළ පවතින බවත් ඉදිරි සති 3 ඇතුළත රටට අවශ්‍ය සීනි හා සිමෙන්ති ලබාදීමට කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පවසයි.

ඒ අනුව, රටට අවශ්‍ය සිමෙන්ති හා සීනි ලබාදීමට ආනයනකරුවන් හා නිෂ්පාදකයන් කටයුතු කරනු ඇතැයි රාජ්‍ය ඇමතිවරයා පැවසී ය.

දැනට සීනි කිලෝවක මිල රුපියල් 230-240 අතර මුදලකට විවිධ වෙළෙඳ සල්වල අලෙවි වන නමුත් පාරිභෝගික අධිකාරිය ලෙස සීනි සඳහා පාලන මිලක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතන ලෙස සතොස හා සමුපකාරවල සුදු සීනි කිලෝවක් රුපියල් 122ටත් දුඹුරු සීනි කිලෝවක් 125ක පාලන මිලකටත් අලෙවි කරන බවට අලගියවන්න මහතා කී ය.

තමන්ට සහනයක් සලසන ලෙස ඉල්ලමින් සීනි හා සිමෙන්ති ආනයනකරුවන් පසුගිය 26දා රාජ්‍ය ඇමතිවරයා හමුවූ අතර මහ බැංකු අධිපති හමුවී එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට රාජ්‍ය ඇමතිවරයා සහතික විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles