Friday, January 10, 2025

මැතිණිය සමුගෙන වසර 21 – තරුණයෙක්ට දීලා යන්න මැතිනියට දිය හැකි ගෞරවය එයයි

ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය ලෙස ලෝකය ඉදිරියේ සිය නාමය සනිටුහන් කරමින් තෙවරක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නික්ම ගොස් අදට වසර 21 ක් සපිරේ.

1916 වර්ෂයේ අප්‍රේල් 17 වනදා උපත ලැබූ ඇය 1960 වර්ෂයේදී ජුලි 21 වන දින ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන්නාය. 2000 වසරේ අගෝස්තු මස 10 දින සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලනයෙන් සමුගත් අතර ඉන් අනතුරුව 2000 වසරේම ඔක්තෝබර් 10 දින මෙලොවින් සමුගත්තාය.

ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාව වූ ඇය ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 – 1965, 1970 – 1977 සහ 1994 – 2000 යන කාල වකවානු වලදීය.

මැතිණිය වෙනුවෙන් සටහනක් තබන ඇගේ දෙවැනි දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ සඳහන් කරයි.

මැතිණිය සමුගෙන අදට වසර 21ක්

බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවයෙන් පසු දිනෙන් දින දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වඩා සංවිධානාත්මක සහ ශක්තිමත්ව ගොඩනැගුවේ මැතිනියයි.

ඇය කෙතරම් අසීරූ සහ දුෂ්කර අවස්ථාවකදී වුවත්, පක්ෂ ප්‍රතිපත්ති විනාශ වීමට ඉඩ නුදුන්නාය. කුමන වරප්‍රසාදයක් ඉදිරියේදී වුවත් කිසිදු බලවේගයකට පක්ෂය පාවා නොදුන්නාය. ඊට කදිම නිදසුනක් මම මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

1977 මහා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් දරුණු අන්දමින් පළිගන්නා අතරතුර ජේ.ආර් ජයවර්ධන මහතා මැතිනියට කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා ඇරයුම් කළ විට එම ඇරයුම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළාය.

ඒ නිසා ඇය එජාප රජයේ පළිගැනීමට ලක් වුවද, තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් එම ඇරයුම පිළිගත්තේ නම්, පක්ෂයට සහ පාක්ෂිකයාට වන හානිය දකින්නට තරම් ඈ දූරදර්ශී වූවාය.

වත්මන් පක්ෂ නායකයන් විසින් අමු අමුවේ විනාශ කරන්නේ මැතිනිය විසින් වසර 40ක් පුරා තම දරුවකු මෙන් රැක බලාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මැතිනිය වෙනුවෙන් දැක්විය හැකි ගෞරවය සහ උපහාරය නම්, සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත මතු කරගැනීමට ශක්තිය ඇති අවංක තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගැනීමයි.

අම්මේ ඔබට නිවන් සුව!”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles