මැතිවරණ කොමිසම එන වසරේ පුංචි ඡන්දයට සැරසෙයි

0
300

2022 මාර්තු 20 න් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  ඒ සභාපති සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා(8)රැස්විය. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා සහ එහි සාමාජික මන්ත්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපතිවරයාගෙන්  කරුණු විමසූහ.

මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීහු එදින එම විශේෂ කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.

විශේෂ කාරක සභාව හමුවේ මෙහිදී වැඩිදුරටත්  කරුණු දැක්වූ මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේපළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස හතරකට  පමණ පෙර, ඊට සුදානම්වීම අත්‍යවශ්‍ය බවයි.

වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්වය යටතේ  පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ නම් ලබන වසරේ  ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවද  ඔහු සඳහන් කළේය.

මෙම  කාරක සභා රැස්වීමට නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරීස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්රි  යන අමාත්‍යවරුන් සහ  ජීවන් තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයාද රවුෆ් හකීම්, අනුර දිසානායක, කබීර් හෂීම්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය සඳහන් කළේ කාරක සභාව යළිත් දෙසැම්බර් 20 වනදා රැස්වීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here