මෛත්‍රී – රනිල් සම්මුති ආණ්ඩුව තව දුරටත් පවත්වා ගෙන යා යුතුද? නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණඩුවෙන් ඉවත් විය යුතුද? යන්න පිළිබඳව ශ්‍රී ල.නි.ප.යේ මධ්‍යම කාරක සභාව ඉතා ඉක්මනින්ම නිගමනයකට එළඹෙන බව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇමතිධූරවලින් ඉවත්ව සිටින ශ්‍රී ල.නි.ප.යේ දහසය දෙනාගේ කණ්ඩායමේ කීපදෙනෙක්ම කියා සිටිති. විශ්වාසභංගය ජයගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේත් ඒ දහසය දෙනාට ආණ්ඩුවේ ඇමතිධුර ඉසිලීමට සාදාචාරත්මක අයිතියක් නැති බවය. මෙරටේ තිබෙන දේශපාලන සංස්කෘතිය හා දේශපාලන සදාචාරය පිළිබඳව නම් බොහෝ දෙනෙකුට ඇත්තේ ප්‍රසන්න හැඟීම් නොවුවද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තවදුරටත් ඒ ආණ්ඩුවේ එල්ලී නොසිටීමට ඔවුන් විසින් ගන්නා ලද තීරණය ජනතාවගේ ගෞරවයට හේතු වූ බව නිසැකය. එ.ජා.ප.යේ පසු පෙළින් මෙන්ම ඉදිරිපෙළින් ද ඒ 16 දෙනාට කරන ලද්දේ බරපතළ විවේචන බව රටම දන්නා කරුණකි. එසේම විශ්වාසභංගය මඟහැර සිටි ශ්‍රී ල.නි.ප.යේ පිරිසටද මෙහිදී සමහරුන්ගේ විවේචන එල්ල වූ බව රහසක් නොවේ.
කෙසේ හෝ විශ්වාසභංගය විසින් උඩු යටිකුරු කරන ලද දේශපාලන ජංජාලයකට රටම මැදි වී සිටින බවත්, එයින් රට මුදවා ගෙන දේශපාලන ස්ථාවරත්වයක් රටට ලබාදීමට ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවත් අමුතුවෙන් යෝජනා කළ යුතු නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද මේ දේශපාලන කැලඹිල්ල පිළිබඳව ඉඳුරා දනිති. දේශපාලන වහසිබස් දොඩවන අල්පශ්‍රැතයන්ගෙන් මෙන්ම අවස්ථාවාදී හා බලලෝභී මජර දේශපාලනඥයන්ගෙන්ද නොඅඩු දේශපාලන වනාන්තරයක් බඳු රටක යහපාලනයක් පවත්වා ගෙන යාමේ අභියෝගය කෙබඳුද යන්නත් අපට තේරුම් ගත හැකිය.
නිවැරදි පියවරක්
මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තරවම අපේක්ෂා කළේ මේ දේශපාලන නිරයෙන් රටත් ජනතාවත්, දේශපාලන පක්ෂත් මුදා ගැනීමය. එහෙත් ඒ සඳහා එ.ජා.ප.යෙන් හෝ ශ්‍රී ල.නි.ප.යෙන් හෝ සාධනීය අනුබලයක් නොලැබුණි. දැන් යළිත් රටම දේශපාලන පඹගාලක පැටලී සිටියි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය නිමා කර මැයි 8 වැනිදා අභිනව සැසිවාරයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත්තේ මේ දේශපාලන උභතෝකෝටිකය විසඳා ගැනීමට බව ඉතා පැහැදිලිය. අලුත් කැබිනට් මණ්ඩලයක් සමග ඉදිරි කාලය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී අවකාශ ලැබෙනු ඇත.
මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ පියවර දේශපාලන උපාය මාර්ගයක් ලෙසද අර්ථවත් හා නිවැරදි එකකි. 2015 ජනවාරි 08 වැනිදා ජනතා අපේක්ෂාවන් ඉටු කරලීමේ ප්‍රතිඥාවෙන්ද ඔහු බැදී සිටියි. එසේම තමන් සභාපතිත්වය දරණ ශ්‍රී ල.නි.ප.ය නොබෙදා සුරැකීමේ වගකීමද මෛත්‍රී ජනාධිපතිවරයා සතුය. රාජපක්ෂ විරෝධී කඳවුරුවලින් එල්ල වන මෝටාර් මැද්දේ වුවද ශ්‍රී ල.නි.ප.ය රැකගෙන මේ දේශපාලන ගමන යා යුතුය යන අධිෂ්ඨානය මෛත්‍රී ජනාධිපතිවරයා තුළ තිබේ. ජාතික ආණ්ඩුව තුළ ශ්‍රී ල.නි.ප.යට පැවැත්මක් නැති බවට එස්. බී. දිසානායක හා අනුර යාපා යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් වූ කාරණය පිළිබඳව නොතකා ක්‍රියා කිරීමටද මෛත්‍රී ජනාධිපතිවරයාට නොහැකිය. ඇත්ත වශයෙන්ම පක්ෂයේ හිටපු නායිකාව මෙන්ම හිටපු ජනාධිපතිනියද වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දේශපාලනය දෝලනය වන්නේ රාජපක්ෂ විරෝධය මත පදනම්ව බව රහසක් නොවේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇගේ දේශපාලන බලකොටුව වන අත්තනගල්ලෙන් ඇයට හිමි වූ දේශපාලන පරාජයද ඉතා බරපතළ එකකි. එපමණක් නොව අද හිටපු ජනාධිපතිනිය 2015 ජනවාරි 08 මෛත්‍රීගේ දේශපාලන භූමිකාව දෙස බලන ආකාරයද කිසිසේත් තාර්කික හෝ සාධාරණ නොවන බවද කිව යුතුය.
පිටු පෑ ඉතිහාසය
රාජපක්ෂවරුන්ගේ දේශපාලන ආධිපත්‍යකයට අභියෝග කළ හැකි පෞරුෂයක් එදා එ.ජා.ප.යට නොතිබුණු බව ඇයට අමතක වී තිබෙන බව පෙනේ. එසේම ඇය සඳහන් කරන ආකාරයට ඕනෑම කෙනෙකු දමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි පසුබිමක් එදා තිබුණේද නැත. එසේ සුළු හෝ ජය ගැනීමේ ඉඩක් තිබුණි නම් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාව අනිවාර්යෙන්ම හිමි වනු ඇත. සිය මව්පිය උරුමයෙන් ලැබුණු දේශපාලන උරුමය රාජපක්ෂලා අත්පත් කර ගැනීම මෙන්ම අනතුරුව ශ්‍රී ල.නි.ප.ය මෛත්‍රී වැනි ගැමි නායකයකුට හිමි වීම ගැන ඇයට සාධාරණ නොවුවද කේන්තියක් ඇතිවීම ස්වාභාවික බව අපට තේරුම් ගත හැකිය. එහෙත් අද ශ්‍රී ල.නි.ප.යෙන් පිටතට ගොස් සිටින රාජපක්ෂලාගේ දේශපාලන භූමිකාව කෙබඳුදැයි පසුගිය පෙබ.10 වැනිදා අනාවරණය වී තිබෙන බව දේශපාලනයේ සිටින සියලු දෙනාම තේරුම් ගත යුතු වෙති. ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීට ශ්‍රී ල.නි.ප.යේ සභාපතිත්වය පිරිනමන ලද්දේත් මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඉන්පසුව රාජපක්ෂ කඳවුරෙන් ශ්‍රී ල.නි.ප. නායකත්වයට කෙබඳු කෙණෙහිලිකම් සිදු වුවද පක්ෂය තුළ බලය හා ශක්තිය ගොඩ නගා ගැනීමට මෛත්‍රීට දේශපාලන විචක්ෂණ භාවයක් තිබුණි.
හිටපු ජනාධිපතිවරයාගේ සෙවණේ වැඩෙන පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය තුළ ඇත්තේද ශ්‍රී ල.නි.ප. ජවය හා රුධිරය මිස අන් දෙයක් නොවේ. එපමණක් නොව හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම කියන්නේද ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ඇත්තේ තමන් ළඟ බවය. ඇත්ත වශයෙන්ම අද දෙකට බෙදී සිටින්නේ එකම ශ්‍රී ල.නි.ප.ය බව මේ දෙපක්ෂයේම නායකයෝ මෙන්ම අනුගාමිකයෝද දනිති. වෙනත් ආකාරයකින් කිවහොත් ශ්‍රී ල.නි.ප.යේ මෛත්‍රී පිල හා මහින්ද පිල ලෙස මේ බලවේග දෙක හැඳින්විය හැකිය. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ඉතා පැහැදිලිව සඳහන් කරන්නේද ඔවුන් විපක්ෂයට ගියත් එහි සිටින්නේ ශ්‍රී ල.නි.ප. නායක මෛත්‍රීගේ නායකත්වය පිළිගනිමින් බවය. එකාබද්ධ විපක්ෂය යනු ශ්‍රී ල.නි.ප.යේ හා සන්ධානයේ පිරිසක් බවද ඔවුහු කියති. කුමක් වුවද තවම පොහොට්ටු පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ නැති බව කවුරුත් දනිති. ඒකාබද්ධ විපක්ෂය යනු සන්ධානයේ හා ශ්‍රී ල.නි.ප.යේ මන්ත්‍රී වරුන්ගේ සැදුම් ලද්දකි.
මේ පසුබිම තුළ ශ්‍රී ල.නි.ප. නායකයා ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාට තම කණ්ඩායම සමග ක්‍රියා කිරීමටත්, ඔවුන්ගේ බහුතර එකඟතාව මත දේශපාලන තීන්දු ගැනීමටත් සිදුවීම අනිවාර්ය වේ. 2015 ජනවරම පාවාදී ශ්‍රී ල.නි.ප.ය ආරක්ෂා කිරීම වැනි චෝදනා එල්ල වුවද දේශපාලනිකව ඒවා විසඳා ගැනීමට අද මෛත්‍රී ජනාධිපතිවරයාට සිදු වී තිබේ. බස්නාහිර මහ ඇමති කියන්නාක් මෙන් එ.ජා.ප. සමග ආණ්ඩු කිරීමෙන් පක්ෂය විනාශ වන්නේ නම් හෝ එ.ජා.ප.ය කරන වැරදිවලට තම පක්ෂයට වග උත්තරකරුවන් වීමට නොහැකි නම් එයට නිවැරදි දේශපාලන පිළිතුරක් හා විසඳුමක් පක්ෂයට අවශ්‍ය බවද කිව යුතුය. මේවා ඉතා ඉක්මනින් පැවැත්වෙන ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදි විසඳා ගත හැකි වනු ඇතැයි සිතිය හැකිය.
මේ සියල්ල තුළින්ම රටට පැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් මෛත්‍රී – රනිල් සම්මුතිය ප්‍රතිසංස්කරණය කර අලුත් දේශපාලන ගමනක් ආරම්භ කළත් එය නිර්බාධිතව ඉදිරියට ගලා යෑම අවිනිශ්චිත බවය. ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයකු මෙන්ම එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු පසුගිය දිනක ප්‍රකාශ කළේ මෙම යහපාලන ආණ්ඩුවෙන් රටට සිදු වූ සෙතක් නැති බවය. එසේම ශ්‍රී ල.නි.ප.යේ සහායක් නොමැතිව වුවද එ.ජා.ප.යට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බව කියන පිරිසක්ද එ.ජා.ප.යේ සිටිති. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්ෂව ලැබුණු ඡන්ද 122 මත පදනම්ව එසේ එ.ජා.ප. ආණ්ඩුවක් පිළිබඳ සිහින දකින බොහෝ දෙනෙකුට පවතින දේශපාලන අවුල ගැන ගැඹුරු වැටහීමක් ඇති බව නොපෙනේ. අනෙක් අතට දේශපාලනය යනු හැමවිටම ගණිතමය ක්‍රීඩාවක් නොවන බවද බොහෝ දෙනෙක් නොදනිති.
අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ ස්ථාවර භාවයක් ලැබුණත් ඔහු සිය පක්ෂය තුළ තිබෙන අර්බුදයෙන්ද සාධනීය ජයක් ලබා ගත යුතුව ඇත. ජනාධිපතිවරයාට ශ්‍රී ල.නි.ප.ය බෙදී වැනසී යෑමට ඉඩ නොදීමේ අභියෝගයට මෙන්ම යහපාලන ආණ්ඩුව විනාශ නොකර පවත්වා ගෙන යෑමේ අභියෝගයටද මුහුණ දීමට සිදු වී තිබේ. විශ්වාසභංගයට විරුද්ධ වීම නිසා ආණ්ඩුවෙන් ඉවතට ගිය 16 දෙනා තවමත් සිය නායකයා ලෙස පිළිගන්නේ මෛත්‍රී ජනාධිපතිවරයාය. ඔවුන් ඒකාබද්ධයට හෝ පොහොට්ටුවට ඇදී යෑම දේශපාලන වශයෙන් ලබන පරාජයක් මෙන්ම පක්ෂයට සිදුවන හානියක් බවද මෛත්‍රී ජනාධිපතිවරයා දනී. එනිසා ඔහුට සීරුවෙන් දේශපාලන තීන්දු ගැනීමට සිදුව තිබේ.
ජනාධිපතිවරයා කිසිසේත් 2015 ජනවරමට දෝහි වූයේද නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔහු විසින් දෙන ලද දායකත්වය ඉතා විශාල විය. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් සැබැවින්ම සිදුව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය විකෘති කිරීමක් බව අද රටටම පැහැදිලි වී තිබේ. පාර්ලිමේන්තුව සවිබල ගැන්වීම යන ව්‍යාජය පෙන්වා විධායකය රූකඩයක් කර ගැනීමට ඇතැමුන්ට අවශ්‍ය වූ බව අද සමහරු ප්‍රසිද්ධියේම කියති. ජ.වි.පෙ. විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාමාංශික නායකයකු වන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම කියා සිටින්නේ මෙම ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වන තෙක් එම ක්‍රමය අහෝසි නොකළ යුතු බවය. ඔහු ජ.වි.පෙ. යෝජනාව දෙස බලන්නේ සැක මුසුවය. ඔහු සඳහන් කරන ආකාරයට එම යෝජනාව බලාත්මක වුවහොත් සිදුවන්නේ අගමැතිවරයාගේ බලය තවත් ශක්තිමත් වීමකි. එනිසා එය තවත් අනතුරකට රට ගොදුරු වීමක් ලෙසද ඔහු සඳහන් කරයි.
“නොතැන,,
ජ.වි.පෙ. විධායක බලය අහෝසි කිරීමේ සංශෝධනය ඉදිරිපත් කරන්නේ වංක අදහසකින් යැයි අපට කිව නොහැක. එහෙත් දවසින් දවස අවිනිශ්චිත දේශපාලන ක්‍රියාවලියකින් පීඩාවට පත්ව සිටින වාතාවරණයක් තුළ වත්මන් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බලතල අහෝසි කිරීම උචිතද? සුදුසුද? යන ප්‍රශ්නය ජනතාවටද තිබේ. අද ව්‍යස්ථාදායකය හා විධායකය අතර තිබෙන අසමතුලිත භාවය කෙබඳුදැයි කවුරුත් දනිති. තටු සිඳින ලද විධායකය තුළින් රටට ලැබී තිබෙන්නේ විකෘතියක් බවට කියන කථාවේද කිසියම් සත්‍යයක් ඇත. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය බොහෝ දෙනෙකුට තම වගකීම හා පොදු ජනතාවගේ අපේක්ෂාවන් අමතක වී තිබෙන බව ජනතාවගේ පැත්තෙන් ඉදිරිපත්ව තිබෙන බරපතළම චෝදනාවකි.
අද මේ සියලු චෝදනා, අවලාද, දේශපාලන සරදම් යනාදියෙහි ඉලක්කය බවට මෛත්‍රී ජනාධිපතිවරයා පත්ව සිටියි. එහෙත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ අභිමතය අනුවම නොවේ. ආර්ථිකය මෙහෙයවීමේ යතුර තිබුණේ එ.ජා.ප.යටය. එයට නායකත්වය දුන්නේ අගමැතිවරයාය. ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස සඳහන් කරන මහ බැංකු මගඩියේ චූදිතයෝ එ.ජා.ප. නායකත්වයේ සමීපතමයෝය. රටේ ජාතික සම්පත් විකුණා දැමීම ගැන චෝදනාවට ලක්වන්නේද අගමැතිගේ සමීප ඇමතිවරුන්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනයට ද්විත්ව පුරවැසියන් නුසුදුසුයැයි නීති හදන ඇත්තෝ රටේ ආර්ථිකයේ හදවත බදු මහ බැංකුව භාර කරන්නේ මෙරටේ පුරවැසියකුවත් නොවන පුද්ගලයකුටය. අද ඔහු උසාවියට වුවමනා වරෙන්තු කාරයෙකි. දේශපාලන බලය අතට ගෙන සහෝදර සමාගම් හැදීම මෙන්ම මිත්‍ර සමාගම් හැදීමද වැරදිය. දේශපාලන බලය යනු තාවකාලික භාරකාරත්වයක් මිස සනාතන උරුමයක්, හිමිකමක් නොවන බව තවමත් මුදුනේ සිටින බොහෝ දෙනෙකුට වැටහී නොමැත. මෛත්‍රී ජනාධිපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට ජනතාවට කීවේත් දූෂණයට විරුද්ධව පෙරමුණක් ගොඩ නගන බවත්, එයට සුදුසු නිර්මල දේශපාලන චරිතවත් පුද්ගලයන්ට බලය ලබා දිය යුතු බවත්ය. එහෙත් එම ඡන්දයෙන් සිදු වුයේ කුමක්දැයි දැන් රටම දනී. පළාත් පාලන ඡන්ද ක්‍රමය වහාම වෙනස් කළ යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා කියයි. එහෙත් මේ අඳ ගොළු බිහිරි දේශපාලන සංස්කෘතිය තුළ එයට ලැබෙන ප්‍රතිචාරයක් නැත. ඇත්ත කථාව නම් ජනතාව පෙළන, ආර්ථිකය ප්‍රපාතයට ඇදගෙන යන අර්බුද හා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බවය. එපමණක් තබා හොරුන් හා දූෂිතයන්ට දඬුවම් දීමද අවාරයට පොල් වැටෙන්නාක් මෙන් සිදුවන්නකි.
අවාරේ පොල්
මේ පසුබැසීමේ දේශපාලන ප්‍රතිලාභ අත් වූයේ හිටපු ජනාධිපති මහින්දටය. ඉතා කෙටි කාල සීමාවක් තුළ මෙරටේ ප්‍රධානතම දේශපාලන බලවේග දෙකම පස්සට දමා ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට පොහොට්ටුවට හැකි වී තිබේ. විශ්වාසභාංගයේ දේශපාලන ප්‍රතිඵල අත්වූයේද මහින්ද පිලටය. අද ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු විරෝධී 16 ක් එක්ව සිටිති. අද මහින්ද පිලේ සටන් පාඨය වී ඇත්තේ එ.ජා.ප.යට එරෙහිව අරගලය ජයග්‍රහණය කරමු යන්නය. අනෙක් අතට සම්මුති ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය පිළිබඳව අද ඇත්තේ අවිනිශ්චිත බවකි. අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය දුන් දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය එ.ජා.ප.යේ ආණ්ඩුවකට ළංකර ගත්තත් එයින් එ.ජා.ප.යට ලැබෙන දේශපාලන ප්‍රතිඵලය යහපත් එකක් වනු ඇතැයි ස්ථිරවම කිව නොහැක. ඒකාබද්ධ විපක්ෂය රනිල්ට එරෙහි විශ්වාසභංගය ජයගැනීම පිළිබඳව මවන චිත්‍රය සුන්දර නැත. විපක්ෂනායක සම්පන්දන් මහතා මෙන්ම දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රී වරයාද තමන් විශ්වාසභංගයට සහාය දුන්නේ කිසිදු කොන්දේසි මාලාවකට යටත්ව නොවන බව ප්‍රසිද්ධියේ කියයි. එහෙත් ඔවුන්ගේ එකඟතාව දෙස ජනතාව බලන්නේ සැක මුසුවය. දෙමළ හා මුස්ලිම් දේශපාලන චරිත බොහෝ විට සිය ඉතිහාසය තුළම ක්‍රියාකර ඇත්තේ දේශපාලන කේවල් කිරීම් සමගය. රනිල් හා සම්පන්දන් අතර ඇතිවූ එකඟතාවට කරුණු 10ක් අඩංගු බව කියති. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් හිමිකරුවන්ට ලබා දීම ආදිය ඒ අතර වේ. මේවා එකඟතා මිස ලිඛිත ගිවිසුම් නොවේ. ඒවා ඉටුවේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැක.
විදූෂකයෝ
දෙමළ සන්ධානය වුව අද සිටින්නේ අර්බුදයකය. උතුරේ මහ ඇමති විග්නේශ්වරන්ට අද දෙමළ සන්ධානය අල්ලන්නේ නැත. ඔහු වෙනම ගමනක් යෑමට ඉඟි කරමින් සිටියි. ඇතැම් සන්ධාන නායකයෝද ඔහුට සහාය දක්වන තැනක සිටිති. මේ සියලු දේශපාලන කැලඹීම් සමඟ රටම නතර වී තිබෙන්නක් මෙනි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක ශක්තිමත්ව, එක දේශපාලන න්‍යාය පත්‍රයකට එකඟව අලුත් ආරම්භයක් ගතහොත් මේ ප්‍රශ්නවල බලපෑම අවම කර ගත හැකිය. එහෙත් එයට ඉඩක් තිබේද? ශ්‍රී ල.නි.ප. මහ ලේකම් හා සන්ධාන මහ ලේකම් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට අකමැති නොවෙති. එ.ජා.ප.යේ තනි ආණ්ඩුවක් ගැන අගමැති රනිල් මෙවේලේ කල්පනා කරනු ඇතැයි සිතිය නොහැක. එසේ වුවහොත් තිහකට සීමාවන ඇමති සංඛ්‍යාවත් සමග අගමැතිවරයාට තවත් අවුලක් නිර්මාණය වනු නිසැකය. මෛත්‍රී ජනාධිපතිවරයාද කිසිසේත් තම පක්ෂයේ සහාය නැති ආණ්ඩුවක් අපේක්ෂා නොකරනු ඇත. එ.ජා.ප. ආණ්ඩුව තුළ හුදෙකලාව සිටීමට පමණක් නොව ඔවුන්ගේ පව්වලට කර ගැසීමටද ජනාධිපතිවරයා කැමති නොවනු ඇත. කුමක් වුවත් බොළඳ ජනප්‍රියත්වය උදෙසා මාධ්‍ය සංදර්ශන කිරීම මෙන්ම දේශපාලන වහසිබස් දොඩමින් ජනතාව ඉදිරිපිට විදූෂකයන් බවට පත්වීම නිසා දවසින් දවස අලුත් දේශපාලන අර්බුදවලට තමන්ගේ පක්ෂ හා නායකයන්ද ඇද දමන්නන්ගෙන්ද ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ප්‍රවේශම් විය යුතුව තිබේ.