Saturday, September 21, 2024

මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ. කැබිනට් මණ්ඩලය පඹයෝ ගානට වැටිලා -විජිත හේරත්

“මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් රටට කැබිනට් මණ්ඩලයක් කුමටදැයි” පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ප්‍රශ්න කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ඊයේ (11දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව විමසා සිටියා.

බැසිල් රාජපක්ෂගේ පළමුවැනි අය-වැයෙන් රටේ ආර්ථිකය කෙළින් හිටවන බවට කයිවාරු ගැසූ නමුත් අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනටත් උසාවිවල නඩු තියෙන කෙනෙක් බවද ඒ මහතා කියයි.

මන්ත්‍රිවරයා මේ බවද පැවැසීය.

මේ ආණ්ඩුව පැයෙන් පැය බඩු මිල වැඩි කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව දරා ගන්න බැරි පීඩාවකින් ඉන්නේ. රටේ පාලකයෙක්, ආණ්ඩුවක් නැති තත්ත්වයක් තියෙන්නේ. මේ නිසා මෝල් හිමියන් සහ කොම්පැනිකාරයෝ භාණ්ඩ මිල තීරණය කරනවා. යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව අපි දැක්කා. එහිදී එතුමා පැහැදිලිව කීවේ මීට අවුරුදු දෙකකට කලින් රටේ ජනතාවට දුන් පොරොන්දු මතකයි කියලා. 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී පොහොර නිකන් දෙනවා, සහන මිලට බඩු මල්ලක් දෙනවා, ගෑස්වලට රුපියල් 100ක සහනයක් දෙනවා කියා කිව්වා. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහන පැකේජ් එකක් දෙනවා කියලා වේදිකාවල බෙරිහන් දුන්නා. නමුත් අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රුපියල දැන් මස්තබාල්දු වෙලා. ඩොලර් හිඟයක් ඇති වෙලා. නිෂ්පාදන කඩා වැටිලා වගේම ජනාධිපතිවරයා ගත් ඔළමොට්ටළ තීන්දුව නිසා ගොවියා මුළුමනින්ම බිමටම වැටිලා. කෘෂිකර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගිහින්. හෙට අනිද්දා දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු තිබෙනවා.

ආණ්ඩුව දැන් තමන්ගේ පාලනය යටතේ තිබෙන සියල්ල අත්හරිමින් යන්නේ මේ වගේ වාතාවරණයක් තුළයි. මහ බැංකුව ටි්‍රලියන දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අච්චු ගසා තිබෙනවා. මේ නිසා රටේ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. බැංකු පොලී අනුපාත වෙනස් වෙනවා. මේ නිසා නැවත වටයකින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. නමුත් ලැබෙන වැටුප්, ජනතාවගේ ආදායම් වැඩිවී නැහැ. අනික් පැත්තෙන් එදා ගත් වැටුපම අරගෙන බඩු ගන්න ගියාම එදා ගත් බඩු ටික ගන්න බැහැ. මෙහෙම තියෙද්දී ගෑස්, කිරිපිටි, පාන්පිටි, සිමෙන්ති මිල පාලනයන් ඉවත් කළා. මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඩොලර් ප්‍රශ්නයක් නම් හාල් මිල පාලනය ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා කොයි තරම් කටින් බතල කොළ හිටෙව්වත් හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන්. හාල් මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ කාටවත් බැරි වුණා. අද වෙනකොට ගෑස්, කිරිපිටි, පාන්පිටි, සිමෙන්ති මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ. තව පැත්තකින් පුරාජේරු ගහපු මහින්දානන්ද අලුත්ගමගේලා ඒ අමාත්‍යාංශවල ඉන්න තත්ත්වයක් යටතේම හාල් පිටරටින් ගේනවා. මේ ගේන්නේ කාබනික පෝර දාලා වගා කළ අස්වැන්න නොවෙයි.

ඉන්ධන මිල වැඩි කළ වෙලාවේ පිහිටු වූ ස්ථායිකරණ අරමුදල පිළිබඳව ලොකු ආන්‍ෙදා්ලනයක් ඇති වුණා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කොච්චර වැඩි වුණත් අපේ රටේ මිල වැඩි නොකරන්න කටයුතු කිරීමේ රුපියල් කෝටි 20,000ක ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව කිව්වා. අන්තිමට ස්ථායිකරණ අරමුදල කොල්ලකෑවා විතරයි. ජනතාව ණයට තෙල් ගහන්නේ නැහැ. නමුත් දැන් ඒ බර ජනතාව මත පටවලා තියෙන්නේ. ඒ වගේම ඩීසල් රුපියල් 32 කින් සහ පෙට්රල් 14 කින් වැඩි කරන්න ලෑස්ති වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති හැටියට පත්වෙනකොට ආණ්ඩුවේ අයම කයිවාරු ගැහුවේ රටේ ආර්ථිකය හදලා අරගෙන සෞභාග්‍ය උදාකර සුරපුරයක් කරන බවයි. බැසිල්ගේ පළමුවැනි අයවැයෙන් රටේ ආර්ථිකය කෙළින් හිටවන බවට ඊයේ පෙරේදාත් කයිවාරු ගැහුවා. හැබැයි අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනටත් උසාවිවල නඩු තියෙන කෙනෙක්. මනි ලොන්ඩරින්වලට උසාවියේ නඩු තියෙන කෙනෙක් මුදල් ඇමැතිකම දරන එකම රට ලංකාවයි. මේක ගිනස් වාර්තාවක්. එහෙව් මුදල් ඇමැති කෙනෙක් පත් කළාම අත්‍යාවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල වැඩිවෙලා තියෙන්නේ.

ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 1493 ට තිබුණේ. දැන් 2750 දක්වා රුපියල් 1257 කින් වැඩි කළා. ලාෆ් ගෑස් එක 1947 කින් වැඩි කළා. සිමෙන්ති රුපියල් 93 කින් වැඩි කරලා. පාන්පිටි රුපියල් 10කින් වැඩි කරලා. කිරිපිටි කිලෝග්‍රෑම් එක රුපියල් 250 කින් වැඩි කරලා. ආපනශාලා හිමියෝ ආප්පයක් සහ කිරි තේ එකක් රුපියල් 10කින් වැඩි කරන්න තීරණය කරලා. බත් පැකට් එකක් රුපියල් 10 කින්, පාන් රාත්තල රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරලා. ගෑස් මිල වැඩි කළාම ආහාරවල මිල ගණන් හැම එකක්ම වැඩි වෙනවා. මේ පිට තියලාම තෙල් මිලත් වැඩි කළොත් ජනතාව අන්ත ප්‍රපාතයට වැටෙනවා. ආර්ථික ඔස්තාර්ලා අද කෝ? තීන්දු තීරණ ගන්නේ වෙනම තැනක. සීනි බදු වංචා කළ හැටි අපට මතකයි. රුපියල් කෝටි 1391ක් සුදු සීනිවලින් වංචා කර තිබෙනවා. රතු සීනිවලින් රුපියල් කෝටි 295ක් සහ වැඩි මිලට මේ කොම්පැනිකාරයන්ගෙන් මේ සීනි මිලදී ගැනීම නිසා සතොසට රුපියල් කෝටි 9ක් පාඩු වෙලා. සීනි වංචාවෙන් විතරක් රජයට රුපියල් කෝටි 1685ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේ පාඩුව පෙබරවාරි මාසේ 28 දක්වා පමණයි. ඊට පස්සෙත් මෙම පාඩුව දිගටම පැවැතුණා. දැන් ඒ පාඩුව රුපියල් කෝටි 4,000කට ආසන්න වෙනවා.

මේ ලාභයෙන් 45%ක් විතර අරගෙන තිබෙන්නේ විල්මා කොම්පැනියයි. ඔවුන් අයුතු ලාභ ලබන අතර ජනතාවට තවදුරටත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතේ 75%ක් විතර ගෙවල්වල පාවිච්චි කරන්නේ ගෑස්. අනික් පළාත්වල ටිකක් වෙනස්. මේ අධික මිල වැඩි කිරීම ජනතාව දරා ගන්නේ කොහොමද? අඩු ආදායම්ලාභීන්ට සහන දෙනවා කියලා බලයට පත්වූ ගෑස් සිලින්ඩරය විතරක් රුපියල් 2750 ක් වෙන කොට ඒ අය ජීවත් වෙන්නේ කොහොමද? අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් ළිපට දාන්න වෙන්නේ දර තමයි. මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ කොම්පැනිකාරයෝ. හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් ආණ්ඩුවක් මොකටද? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද? ජනතාවගේ බදු මුදල්වලින් කැබිනට් එකක් නඩත්තු කරන්නේ අපරාදේ. ආණ්ඩුව දැන් සියලුම අංශවල පාලනය අත්හැරලා තියෙන්නේ. මිල පාලනය, රජයේ දේපළවල අයිතිය, ජනතාව පිළිබඳ වගකීම් යන සියල්ලම අත්හැරලා තියෙන්නේ. මේ නිසා කැබිනට් එකක්, ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ජනතාව පීඩාවට පත්වීමේදී එයින් මුදාගන්නයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒ වගකීමෙන් මුළුමනින්ම අයින්වෙලා ඉන්නේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පැන්ඩෝරාවල ඩොලර් හංගමින් ඉන්නේ. පසුගිය කාලයේ කළ හොරකම්, දූෂණ, මිනීමැරුම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කරන්නේ.

මේ නිසා රටේ පාලනයක් නැහැ. ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ගැන කොච්චර කිව්වත් මහ පොළොවේ එහෙම එකක් නැහැ. ආණ්ඩුවේ පාලනයෙන් තොරව සියලු දේවල් සිද්ධ වෙන බව ජනතාව අත්විඳිමින් ඉන්නවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ හේනේ කුඹුරේ හිටවලා ඉන්න පඹයා බියවද්දලා සත්තු භෝගවලට හානි කරනවා වගේ වැඩක්. මේ නිසා ජනතාව මහත් පීඩාවකට පත්වී ඉන්නේ. ආදායම වැඩි නොවී භාණ්ඩ මිල වැඩිවීමෙන් ජනතාවගේ ආර්ථික බර ඉතාම පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා දැන්වත් ජනතාව පවතින තත්ත්වය හරියට තේරුම් ගන්න ඕනෑ. ආර්ථිකය ගොඩගන්න තියා පවතින තත්ත්වයෙන් පවත්වා ගන්නවත් මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා ජනතාව මේ ද්‍රෝහී පාලනයට එරෙහිව පෙළගැසෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ආර්ථිකය කඩා වට්ටවන ආණ්ඩුවට එරෙහිව සහ මේ තත්ත්වය වෙනස් කරන්න පෙළගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles