Saturday, September 21, 2024

මුතුරාජවෙල පරිසර කලාපයේ ඉඩමි අක්කර 400ක් සමාගමකට – පර්චසය රුපියල් 500 බැගින්.. විශාල හෙලිකොප්ටර අංගනයකුත් හදන්න සැලසුම් කරලා

මුතුරාජවෙල පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවයි.

මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අනවසරෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පවසන කමිටුව එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

එසේම පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසටද නියෝග කර ඇත.

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් හැටපන් දහස් එකසිය දෙකක්( 65102ක් ) පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට බැහැර කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කමිටුව නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ පළාත් පාලන ආයතනවලට නියෝග කළේය.

හෙක්ටයාර් 6232ක්වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068 ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.

මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් පරිසර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කමිටු රැස්වීමකදී උපදෙස්දී ඇත.

Lankadeepa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles