Saturday, September 21, 2024

මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගනිමින් ජනතාව අතර ගැටලු ඇති නොකර මුතුරාජවෙල නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කරගන්න – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

වනජීවී හා වන සංරක්ෂණ කලාපයක් ලෙස මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගැනීමේ කටයුතු ඒ අයුරින්ම ඉටු කර ගනිමින් ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ ගැටලු ඇති නොකර ඉදිරිපත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.


මේ නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කුතහලය නිසා එම ප්‍රදේශය  නියෝජනය කරන දේශපාලඥයකු විදියට මටත් විශාල ප්‍රශ්නයක්. දැන් වනජීවී හා වන සංරක්ෂණ කලාප ලෙස කිව්ව විදියට හෙක්ටයාර් 1,447 ක් ගැසට් කරල තියෙනවා. මේ ගැසට් කරලා තිබෙන 1,447 තුළ නීති විරෝධී වැඩ වෙනවා කියන එක කාදිනල් හිමිපාණන් සහ සියලුම සමාජයේ පරිසරය පිළිබඳව කථා කරන අය කියනවා. ඒ නිසා එම නිතී විරෝධී කටයුතු නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. 

දැන් අලුත් ගැසට් එකේ හෙක්ටයාර් 4,400 ක් වැඩි කරලා, හෙක්ටයාර් 5,800 ක් පවරා ගැනීමට දාලා තියෙනවා. මේක තමයි අද සමාජයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඊයේ සියලු දේවස්ථානවල මේ පිළිබඳව කථා කළා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට නැති ප්‍රශ්න දාගන්නේ නැතුව, මේ දාපු ගැසට් එක ඉවත් කර ගමු. 


අපි වන සංරක්ෂණය කරන්න ඕන නම්, වනය ආරක්ෂා කරන්න ඕන නම්, අභයභූමී ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගහලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අද වන විට ජනතාව විශාල කුතුහලයකට පත් වෙලා තියෙනවා. අවුරුදු 150 – 200 හිටපු පල්ලි, පන්සල්, ගෙවල් ඔක්කොම ඉඩම් මේ මගින් යනවා. ඒ නිසා කළ යුත්තේ නැවත මිනින්දෝරුවරන් දාල වෙන් කිරීම නොවෙයි,  1998 දී හෙක්ටයාර් 1,447ක් හඳුනා ගෙන තියෙනවා. මේවා ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කර ඇති ප්‍රමාණයවත් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක මම ඉල්ලා සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles