Saturday, September 21, 2024

‘මුතු ඇටයේ’ ‘කළු පෙට්ටිය’ හමුවේ

ශාලික විමලසේන විසිනි.
facebook Articles

‘පරමාණු බෝම්බ’වලටත් බය නැති’වුන්ට එක්ස්ප්‍රස් පර්ල් කජ්ජක් ද?

මේ තියෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ‘කළු පෙට්ටියයි.’ එනම් ගුවන් යානයක කළු පෙට්ටිය (Flight Recorder) මෙන් නැවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලු තොරතුරු රෙකෝඩ් වී ඇති Voyage Data Recorder – VDR නම් කොටසයි. මෙය සොයාගැනීමෙන් සියල්ලට පිළිතුරු ලැබෙනු ඇති බව ඇතැම් බලධාරීන් විසින් මාධ්‍ය හරහා ජනතාව වෙත ඇති කරන්නට උත්සාහ දැරූ විශ්වාසයයි. දැන් එය අප සතු යැයි ආඩම්බරයෙන් කිව හැකිය. එමගින් ඉදිරියේදී පහත ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

* ලංකාව නැවේ ගමනාන්තයක් වන නිසා වරාය අධිකාරියේ ලියකියවිලි අනිවාර්යෙන් තිබිය යුතු වුවද, මේ නැවේ අදාළ රසායනික ද්‍රව්‍ය ගෙන ආවේ කාටද, කුමක් සඳහාද යන්න මෙතෙක් හෙළිදරව් නොවූයේ ඇයි?

* නැවේ බලධාරීන් පවසන නයිට්‍රික් අම්ලය ඇතුළු රසායනික ද්‍රව්‍යවලට වඩා හානිකර සහ අන්තරාදායක රසදිය, ආසනික් සහ ඊයම් වැනි රසායනික මෙහි නොතිබූ බවට සහතිකයක් තිබේද?* උපද්‍රවකාරී හා හානිකර ද්‍රව්‍ය සම්මුතිය (HNS සම්මුතිය 1996) සහ 2010 ප්‍රොටෝකෝලය අනුමත කිරීමට සහ ඒවාට එකඟවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසාත්, ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් කර අදාළ සම්මුතිය දේශීය නීතියට ඇතුළත් කර නැති නිසාත්, එවැනි සම්මුතියක් යටතේ සිදු වූ හානිය සඳහා වන්දි ලබාගැනීමට හැකියාවක් නොමැති නිසා, වාසුදේව නානායක්කාර ඇමැතිවරයා එළිපිට පැවසූ, අනෙක් ඇමැතිවරුන් එළිපිට නොකියන, බහුතරයක් බලාගෙන සිටින වන්දි මුදලක් ලැබේවිද?* නයිට්‍රික් අම්ලය කාන්දු වන කන්ටේනරය ගොඩබෑම සඳහා හසීරා සහ හමාඩ් වරායවලින් කරන ලද ඉල්ලීම්, එම වරායවල මෙවැනි කාන්දු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥ පහසුකම් හෝ විශේෂඥතාව නොතිබූ බැවින් ප්‍රතික්ෂේප කර තිබියදී, අප ඊට අනුමැතිය දුන්නේ එවැනි පහසුකම් ඇති නිසා ද, තිබුණේ නම් ජලය භාවිතය, සිසිලනය සහ රසායනික පවුඩර් යෙදීම හැර කිසිවක් නොකළේ ඇයි?

* යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් UF6 පුරවා ගත් එම්. වී. බී. බී. සී. නාපල්ස් නමැති නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායේ සිට චීනය දක්වා ගමන් කිරීමේ දී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 2020 අප්‍රේල් 21 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට ඇතුළු කෙරිණි. යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් යනු න්‍යෂ්ටික බලාගාරවලට හෝ පරමාණු බෝම්බ නිපදවීමට හෝ භාවිත කරන අතිශය භයානක රසායනිකයක් ලෙස විශේෂඥයෝ හඳුන්වති. යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් වායුගෝලයට විවර වුවහොත්, එය ඉතා වාෂ්පශීලී නිසා පහසුවෙන් වායුගෝලයේ පැතිරී යනු ඇති බවත්, එය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර බවත්, මෙමගින් මිනිසා ඇතුළු සතුන්ගේ රතු රුධිරානු අඩු වීම හා වකුගඩු, සම, පෙනහලු, අක්මාව ආදී ඉන්ද්‍රියයන්ට දැඩි බලපෑම් එල්ල කිරීම සිදුවන බවත් එම විශේෂඥයෝ පෙන්වා දෙති.මෙවැනි අනතුරුදායක විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අතරතුර, යම් අනතුරකට ලක් වුවහොත් සිදු විය හැකි හානිය ඉතා විනාශකාරී නිසා එවැනි නැව් වරාය තුළට ඇතුළු කිරීම තහනම් කොට ඇත. එම නැව්වලට පහසුකම් සපයන්නේ වරායෙන් පිටත තබා ය. න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව වූ ප්‍රඥප්තීන් කිහිපයකට ලංකාව ද අත්සන් කර ඇත.එසේ වුවත්, මේ අනතුරුදායක තත්ත්වය කිසිවක් නොසලකා එම්. වී. බී. බී. සී. නාපල්ස් නෞකාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය තුළට ඇතුළු කෙරිණි. එයින් කිසිදු හානියක් නොවන බවට අර තරම් විශ්වාසයක් ලැබුණේ කොහෙන්ද?

* ‘දූෂකයා ගෙවීමේ මූලධර්මය’ යනු මෙරට නීතියකි. චුන්නාකම් නඩුව ලෙස ප්‍රකට රවීන්ද්‍ර කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් 10 දෙනෙකු (SC/FR/141/2015) නඩුවේ සහ විල්පත්තු නඩුව ලෙස ප්‍රකට පරිසර යුක්ති කේන්ද්‍රය එදිරිව වන සංරක්ෂණ ජනරාල් අනුර සතරසිංහ සහ තවත් 08 දෙනෙකු (CA Writ/ 291/15) නඩුවේ තීන්දුවලදී මෙය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පිළිගෙන තිබේ.ජනතාව සමග එම්. වී. බී. බී. සී. නාපල්ස් වැනි අත්හදාබැලීම් කරන දූෂකයන්, මේ මූලධර්මයට කොතෙක් යටත් ද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles