Tuesday, September 24, 2024

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු වැඩි දුරටත් මෙසේ පැවසුවේය.

“පනතේ  තියෙනවා අපනයන සංවර්ධන අමාත්‍ය සභාවක් තියෙන්න ඕනේ. ඒකේ ජනාධිපති මූලාසනය ගන්න ඕනේ. අගමැතිවරයා ඉන්න ඕනේ. මුදල් ඇමතිවරයා ඉන්න ඕනේ. වෙළෙඳ ඇමතිවරයා ඉන්න ඕනේ. කර්මාන්ත ඇමතිවරයා ඉන්න ඕනේ. මේ එක ඇමතිවරයෙක්වත් ඉන්නේ නැතුව, කරන වැඩ නීත්‍යානුකූල නැහැ.

මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ.

එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්න‍ේ. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්‍රශස්තිකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශ්ව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්.

හිටපු අග්‍රාමාත්‍යතුමා ඊයේ මේ ගරු සභාවට කිව්වා අපේ කාලයේ හොඳට තිබිලා ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබුණා කියලා.  මම ඉතාම අවංකව කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම එවැනි අර්බුදයක් තිබුණේ නැහැ. ණය ආපසු ගෙවීම පිළිබඳ අර්බුදයක් 2014 තිබුණේ නැහැ.

ඔබතුමාට මම කියන ආකාරයේ මහා බලසම්පන්න, අදෘශ්‍යමාන පැලැන්තිය විසින් ඔබතුමාට මන්තරයක් ලෙස කියෙව්වා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න බැරිවෙලා මුකුත් කරගන්න බැරි ඒක නිසයි කියලා. මේක පට්ටපල් බොරුවක්. ඒකට හේතුව මම සඳහන් කරන්න කැමතියි. ඉතා ම වාසනාවන්ත ආණ්ඩුව ලැබුණේ ඔබතුමන්ලාට. හේතුව ලෝක වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල අඩුවුණා. පොහොර මිල අඩුවුණා. රසායනික ද්‍රව්‍ය මිල අඩුවුණා. යකඩ මිල අඩුවුණා. රත්තරං මිල අඩුවුණා. මේ නිසා ඉතා විශාල වාසිදායක තත්ත්වයක් 2015  ආණ්ඩුව ගන්න කොට තිබුණා.

2014 මහින්ද රාපක්ෂ යුගයේ දී තෙල් බිල බිලියන 4.6 යි. 2015 දී මේ තෙල් බිල අඩු වුණා බිලියන 2.6 ට. එතකොට ඛනිජ තෙල් ආනයනය කරන්න රටින් පිටට ගිය මුදල ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක්. ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් තෙල්වලින් විතරක් පළවෙනි අවුරුද්දේ 2015 ඉතුරු වුණා.

2016 දි තවත් අඩුවුණා. 2.4ට. එතකොට 2016 දී ඉතුරු වුණා 2.2 ක්. 2017 දී හැබැයි වැඩිවුණා 3.4 යි 1.2 ක් ඒත් ඉතුරු වුණා. 2018 ත් මිලියන 5කින් අඩුවුණා. 2019 ත් මිලියන 8 යි. ඛනිජ තෙල් මිල දිගටම පහත වැටුණා. මුළු කාලය තුළම. 2014, 2015, 2016, 2017, 2018, 2019. එතාකාට බිලියන 6.7 ක් තෙල් වියදම මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඔබතුමන්ලාගේ රජයේ අඩුවුණා. ඒක ඔඉබතුමාට කිව්වේ නැහැ. ඔබතුමාට කියන්නේ නැතුව, මේ තෙල් මිල අඩුවීම බිලියන 2 යි, 2015 වර්ෂයේ දී හිටපු අගමැතිතුමනි , ඉන්දියානු සංචිත බැංකුවෙන් ගත්ත 1.5 ක්. බැඳුම්කර 2 ක් නිකුත් කළා. ඒ බැඳුම්කර දෙකෙන් ගත්තා 2.1 ක්. සංචාරක ඉපයීම් සියයට 25 කින් වැඩිවුණා, එතන තිබුණා බිලියන 3 ක්. භාණ්ඩ අපනයන තිබුණා ඒ අවුරුද්දේ බිලියන 10 ක්. එතකොට බිලියන 19 ක් තිබුණා ඒ අවුරුද්දේ වාසිදායක තත්ත්වයක්. ඔබතුමාගේ වර්ෂයේ පළවෙනි වර්ෂයේ දී.

මම මේ පැහැදිලි කරන්නේ අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ.

ණය ගෙවන්න තිබුණ හැටි, දැන් 2014 දී ණය සේවාකරණ ගෙවීම්, ණය වාරිකය හා පොළිය දෙකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 යි. ඒක 2015 දී වැඩිවුණා, ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක්. එතකොට එක බිලියනයයි තමුන්නාන්සේලාට විදේශ ණය ගෙවන්න වැඩිපුර අවශ්‍ය වුණේ. තෙල්වලින් විතරක් ඉතුරු වුණා බිලියන 2 ක්. කොහොමද ණය ගෙවීමේ ප්‍රශ්නයක් ඇත්වෙන්නේ.

මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී….

සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ. සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. අපිව මේ වටේ ඉන්න මිනිස්සු, මේ තමන් විශාල හොරකමක්, ජාවාරමක් කරලා හොරුන්ට ගහන කොට, හොරුන්ට ගහන කෙනා හොරා කියන කොට අපි පැහැදිලිව මේ සභාවේ මන්ත්‍රීවරුන්ට ගෞරවයකින් කියලා තියෙනවා, මගේ අමාත්‍යාංශයේ නම් මම හරි මගේ දරුවෙක් හරි සත 5 ක හරි වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් කරලා කියලා, ඔබතුමන්ලා ඇවිල්ලා මට මෙතන ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපු දවසට මම මේ ජරාජීර්ණ දේශපාලනයෙන් සදාකාලයට සමුගන්නවා, පාර්ලිමේන්තු ඇමතිකම්වලින් බැහැරව. මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්.” යනුවෙන් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles