Saturday, September 21, 2024

මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන, අපද්‍රවය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවන පරිදි ආයෝජන මගින් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවධානය යොමු කර ඇතැයි ප්‍රගති සමාලෝචනයේ දී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව සඳහන් කළ සිරිනිමල් පෙරේරා මහතා මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා‌ට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙහි දී අදහස් පළ කළ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා 2024 වසර අවසන් වනවිට නව නිවාස 60,000ක් ඉඳිකිරීමේ සැළැස්මක් ඇති බව හෙළි කළේය.

ඒ අනුව අඩු අදායම් ලාභීන් වෙනුවෙන් නිවාස 40,000ක් සහ මධ්‍යම පාන්තික සහ අනෙකුත් පාන්තිකයන් වෙනුවෙන් නිවාස 20,000ක් ඉඳි කිරීමට නියමිත බව හෙතම සඳහන් කළේය. සියක් නගර ව්‍යාපෘතියට සමඟාමීව ඒ ඒක් නගරයක නිවාස 100 බැගින් නිවාස 10,000ක් ද ඉඳිවන බව උදය නානායක්කාර මහතා පැවසීය.

“කොළඹට පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලට ද මෙම නිවාස ව්‍යාපෘති ගෙනයන්න” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මධ්‍යම පාන්තික නිවාස 3000ක් කොළඹ නගරයේ ද තවත් 2000ක් කොළඹින් බැහැරව ද ඉදි කිරීමට සැළසුම් කර ඇති බව මෙහි දී අනාවරණය විය.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මකවන ඇවිදින මංතීරු ඉදිකිරීමට සමඟාමීව එම මංතීරු ආශ්‍රිතව ග්‍රාමීය නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළඳ සැල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

කොළඹ අගනගර නාගරික ව්‍යාපෘතිය සහ උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය.

ප්‍රගති සමාලෝචනය අවසානයේ දී අමාත්‍යංශයේ එක් එක් ආයතනවල ක්‍රියාත්මක විය යුතු මූල්‍ය සැලැස්ම සහ මානව සම්පත් කළමනාකරණ ආකෘති අග්‍රාමාත්‍යතුමා අතින් ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles