Saturday, September 21, 2024

මුළු ජාතියම ගාන්ධර්වයාට ණයගැතියි

අපගේ දේශය අවදි කළ ජාතියක කටහඬ නිහඬ වුවද එය මතුව බිහිවන පරපුරටද ජීවයක් වනු නිසැකයැයි දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා වෙනුවෙන් විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටී.ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
විසිවන සියවසෙහි මෙලෙක බිහිවූ අසිරිමත් ගාන්ධර්වයකු මෙන්ම අසාමාන්‍ය සංස්කෘතික කලා ප්‍රාඥයකුද වූ පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය
පිළිබඳව ශ්‍රී ලංකා රජයේ මෙන්ම මුළු මහත් ජාතියේම සංවේගය පළමුව ප්‍රකාශ කර සිටිමු.අමරදේවයන් අයත් වන්නේ ශ්‍රී ලාංකික ජාතික අනන්‍යතාව හා එහි ස්වදේශීය ලකුණු සොයා ගිය විශිෂ්ටයන්ගේ හා විදග්ධයන්ගේ පරපුරටය. දේශීය සංගීතයේ අක් මුල් සොයා යමින් එහි රසභාව සු‍පෝෂණය කරමින් ඔහු විසින් සිංහල ගීතයට කරන ලද විශිෂ්ට සම්ප්‍රදානයන් නිසාම මුළු මහත් ජාතියම ඔහුට ණය ගැතිය.
අමරදේව යනු සිංහල සංගීතය මෙන්ම ජාතියේ යශෝරාවය පිළිබඳ සංකේතයක් වැන්න. පණ්ඩිත් අමරදේවයන් භාෂා ශාස්ත්‍ර, සමය, දර්ශනාදියෙහි පරප්‍රාප්ත වූ බුද්ධිමතුන්ගේ ඇසුරෙන්ද, ස්වකීය ප්‍රතිභා වාසනා ගුණයෙන්ද, ජීවන තක්සලාවෙන්ද නැණ නුවන සියුම් කරගත් ප්‍රාඥයෙක් විය. අමරදේවයන්ගේ මධුර හඬ සිංහල සංස්කෘතික අධ්‍යාත්මයේ පතුලෙන් නැගෙන රාවයක් වැන්න.
“සසර වසන තුරු”, “රත්නදීප ජන්ම භූමි” වැනි ගී දෙක වුවද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය විශද කරවීමට ප්‍රමාණවත්ය. අමරදේවයන් සිය තුභු මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගියද ඔවුන්ගේ විස්මිත සංගීත කලා සංස්කෘතික පෙළහරේ දීප්තියෙන් අපගේ දේශය මතු නොව අපගේ සංස්කෘතික ආධ්‍යාත්මයද සදා පිබිදෙනු ඇත.සරල නිරහංකාර අපිස් ජීවිතයක පරමාදර්ශයද ඔහු විය. අපගේ දේශය අවදි කළ ජාතියක කටහඬ නිහඬ වුවද එය මතු මතුව බිහිවන පරපුරටද ජීවයක් වනු නිසැකය.

පණ්ඩිත් අමරදේවයන්ට – නිවන් සුව ලැබේවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles