Thursday, September 19, 2024

මුළු රටම වැටිලා. සියලු දෙනාටම සහනයක් ලබාදෙන්න – එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන

මුළු රටම වැටී ඇති බවත් ඒ නිසා සියලු දෙනාටම දැන් සහනයක් ලබාදීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ අද (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“ගංවතුරක්, නියඟයක් ආවම අපි දුප්පත් පොහොසත් සියලු දෙනාටම නැගිටින්න අවශ්‍ය ආර්ථික ශක්තිය ලබා දුන්නා. අදත් සමාජයේ සියලුම පෞද්ගලික අංශයෙ පුද්ගලික ව්‍යාපාරිකයන්ද වැටී සිටිනවා. දැන් ඒ අය වෙන්කරලා සහන ලබා දීලා මේක ගොඩගන්න බැහැ. හෝටල් තිබෙන අය වැටිලා, ධීවර කර්මාන්තයේ අය වැටිලා, බස් කර්මාන්තයේ අය වැටිලා. හැම කර්මාන්තකරුවෙක්ම වැටිලා. මුළු රටම වැටිලා. ඒ නිසා සියලු දෙනාටම දැන් සහනයක් ලබා දෙන්න අවශ්‍යයයි.

සාමාන්‍යයයෙන් ආපදාවක් වුනාම අපි ඒ ආපදාවට ක්ෂණික විසඳුමක් දෙනවා, ඊළඟට මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන විසඳුම. උදාහරණයක් තමයි ගං වතුර එද්දි තාවකාලික විසඳුම හැටියට ආපදාවට ලක්වුණු මිනිස්සු එක එක තැන්  වලට ඒකරාශි කරගෙන කන්න බොන්න, සෞඛ්‍ය සේවා ඇතුළු අවශ්‍ය උපකාර ලබා දුන්නා. මධ්‍ය කාලීන විසඳුම් හැටියට එයාලට වුන අලාභ, බව භෝග, නිවාස එහෙම විනාශ වෙලා නම් වන්දි ලබා දීලා ඒකට විසඳුමක් දුන්නා. දීර්ඝ කාලීන විසඳුම් හැටියට මේ ගංවතුර අපට පාලනය කරගන්න පුළුවන්, නතරකරගන්න පුළුවන්, අඩුකරගන්න පුළුවන් සැලසුම් සකස් කළා. එහෙම තමයි අපාදාවකට මුහුණ දෙන ආකාරය.

ආපදාවන් සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාදයි

දැන් මේ මොහොත වන විට ලංකාවේ ආපදා තුනක් තිබෙනවා. කාලයක් තිස්සෙ පවතින කොරෝනා වසංගතය, දැන් අවුරුද්දකට වැඩි කාලයක්. ඉන්පසු නැව, පළවෙනි වතාවට ඉන්දියන් සාගරයේ ලංකාවට ආසන්නයේ නැවක් පුපුරලා ගියා. ඊට පසුව ගංවතුර.

නැව පිපිරීම තුළ ධීවරයට අවවාද කළාට වැඩ පිළිවෙලක් මේ වනතුරුත් ආණ්ඩුවට නැහැ. මේක බලපානවා හම්බන්තොට – මාතර – ගාල්ලේ ඉඳලා පුත්තලම පැත්තට වෙනකල් තදබල විදියිට බලපාලා තියෙනවා. ගාල්ලෙ කෙනෙක් හැටියට මට ධීවර කාර්මාන්තයේ යෙදෙන ආකාරය පිළිබඳ අවබෝධයක් අපට තිබෙනවා. ඒ මින්ස්සු බහු දින, එක් දින ධීවර යාත්‍රා යනවා. ඔරු වලින් ධීවර කර්මාන්තයේ යෙදෙනවා.

විසි දැලද, මා දැලද මීට අමතරව විශේෂයෙන් අහංගම ප්‍රදේශවල රිට මත (Tilt Fishing) නැගිලා කර්මාන්තයේ යෙදෙන පිරිස ඉන්නවා. ඊට අමතරව පොකිරිස්සො, ඉස්සො මේ වගේ විවිධ ආකාරවල ධීවර කටයුතු වල යෙදෙනවා. මොවුන්ට වක්‍රව උදව් කරන පිරිස් සිටිනවා. බෝට්ටු නඩත්තු කරන අය, කෑම සපයන අය වගේ. මේ නිසා විශාල පවුල් සංඛ්‍යාවකට මේක බලපානවා.

නමුත් අද තව වෙන්නත් ඔවුන් බලා ගැනීමේ වැඩ පිළිවෙලක් රජය විසින් සකස් කරලා නැහැ. ඉතාමත් කණගාටුයි. නමුත් එහෙම වෙන්නට බැහැ දැන්. නැව පිපිරීමේ වුනත් කෙටි කාලීන, මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීන විසඳුම් රජයට තිබෙන්නට ඕන. එහෙම දෙයක් පේන්න නැහැ.

එතකොට අපි විශේෂයෙන් අද මේ කතා කරන්නේ රජයේ සේවකයන්ට මේ කොරෝනා වසංගතය තුළ කොහොමද සළකන්නේ කියලා තමයි අපට ඇත්තටම කතා කරන්න සිදු වෙලා තිබෙන්නේ. කොරෝනා වසංගතයේ පළවෙනි රැල්ල ආපු වෙලාවේ රජයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයත්, පොලීසියත්, ත්‍රිවිද හමුදාවත්, සහ මහජනතාවත් එකතුවෙලා ඒක සාර්ථකව මැඩ පවත්වා ගත්තා. එය අප අගය කළ යුතුයි. එහෙම මැඩ පවත්වලා අපි මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයකුත් තිව්වා. ලංකාව කියන්නේ වටේම සාගරය තිබෙන රටක්. ඒ නිසා මේ රටට පිටින් එනවා ඇරෙන්නට වෛරසයක් එන්න බැහැ.

දෙවෙනි වතාවේ ආපු වෛරසය ඊට වඩා වෙනස්. පළවෙනි රැල්ල මතු වූ අවස්ථාවේදී එය ආරම්භවූයේ කෙසේද යන්න ජනතාවට බොහොම පැහැදිළිව දැනගන්න ලැබුනා. මත්තේගොඩ ඉන්න සංචාරක කර්මාන්තයේ නියැලුනු මහත්මයෙකුගෙන් තමයි පළමු රැල්ල ආරම්භ වුනේ. ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කළා. පැහැදිළිව පුද්ගලයා සහ ස්ථානය පවා හෙළි කරන්න රජයට හැකියාව තිබුණා. නමුත් දෙවෙනි රැල්ල ආරම්භ වූයේ කෙසේද යන්න ජනතාවට නිවැරදි තොරතුරක් ලබා දෙන්න රජයට අදත් බැරි වෙලා තිබෙනවා. ඒ කියන්නේ අධීක්ෂණයේ යම් අඩු පාඩුවක් තිබෙනවා.

ඉන්පසු තුන්වන රැල්ල ආවා. එතනදිත් නිසියාකාර අධීක්ෂණයක් තිබුණා නම් මේ රටේ මේ  රෝගය පිටින් රටට ඇතුල්වීම වළක්වාගන්න හැකියාව තිබෙනවා. දැන් අද තව වෙනතුරුත් හැකියාවක් ලැබිලා නැහැ මෙය මැඩ පවත්වන්න. මොකද මේ අවස්තා තුනේදී ඇවිත් තිබෙන්නේ වෛරස ප්‍රභේද තුනක්. අපි අමතක කරන්න හොඳ නැහැ දෙවෙනි රැල්ල ඇවිත් සුමාන දෙකක් යනතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් කියන තනතුර පුරප්පාඩු වෙලා තිබුණා. ඒ නිසා මීට වඩා සැලසුම් සහගත ලෙස රජයක් හැටියට වගකිවයුතු ලෙස කටයුතු කළ යුතුයි කියා මතක් කරන්න ඕන. මේ ප්‍රශ්නය ආපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙ හිටපු සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් තිබෙන ප්‍රධාන නිලධාරින් මාරු කර හැරියා. ඒ වෙනුවට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් නැති අයට අවස්ථාව ලබා දුන්නා.“ යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles