මෙරටට එන සියලුම ගුවන් මගීන් සඳහා මාර්ගෝපදේශ තවදුරටත් සංශෝධනයට

0
295

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා පණවා තිබූ මාර්ගෝපදේශ තවදුරටත් සංශෝධනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්, නාවිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මාලාවට අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු හෝ ඇය පැමිණෙන රටේදී පැය 72 කට පෙර සිදු කළ PCRපරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරට දී යළි PCR පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි.

එම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොල දෙක සඳහාම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස ඔවුන් සිටින හෝටලය වෙත යෑමට අවස්ථාව හිමිවන අතර එහිදී PCR පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී PCR පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් කරා යා හැකි බවයි.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන PCRපරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here