Friday, January 17, 2025

මෙරට පළමුවරට යුටියුබ් නාලිකාවකට එරෙහිව නඩුවක් පැවරේ

අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මූලස්ථානය පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් එල්.එල්.සී. ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා යූ.ටියුබ් එල්.එල්.සී. ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් එල්.එල්.සී. ආයතනය නම් කර තිබුණි.

සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නයෝමි චේතනා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් බණ්ඩාර පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහ යූ ටියුබ් එල්.එල්.සී. ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කෙරිණි.

යූ ටියුබ් ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව යූ ටියුබ් සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන් යූ ටියුබ් සමාජ ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ (Colombo Today) නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියේය.

සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට යූ ටියුබ් එල්.එල්.සී. ආයතනය අවසර දී ඇතැයි ද පැමිණිලිකරු දන්වා සිටියි.

අදාළ නාලිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද යූ ටියුබ් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා ඇත. එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබුණි.

(අරුණ පුවත්පත)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles