Sunday, September 22, 2024

මේජර්ගේ ලියුම ගැන පරීක්ෂණ CIDයට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්කළේ තමා බවට ලිපියක් ලියා තබා සියදිවි හානිකරගත් කෑගල්ලේ විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයාගේ එම ප්‍රකාශය සම්බන්ධව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.

කෑගල්ල පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබන්නේ සියදිවි හානිකර ගැනීම මෙන්ම ඔහු විසින් ලසන්ත ඝාතනය සම්බන්ධව කර ඇති ප්‍රකාශය සම්බන්ධවයි.මෙම සාජන් මේජර්වරයා යුද හමුදා බුද්ධි අංශයේ සේවය කර අනතුරුව මොහු 2007 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. එහෙත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ 2010 වසරේදීය.

ඒ අනුව විශ්‍රාම ගිය හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් මෙවැනි දේකට යොදාගත්තේ කවුද? ඒ කෙසේද? ඔහු ඇසුරු කළ පුද්ගලයන් කවුද? ඔහුගේ දුරකතන අංකය ඔහු සමඟ සිටි හිතවතුන් ආදිය සම්බන්ධව ද තොරතුරු හෙළිකර ගැනීමට මෙම පරීක්ෂණ මෙහෙයවනු ඇත.

තවද ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සැකකරනු ලබන පුද්ගලයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගත් තොරතුරු මත ඡායාරූපයට නගන ලද රූපය සහ මෙසේ ගෙල වැලලාගත් එදිරිසිංහ මහතාගේ ඡායාරූපය අතර යම් සමානකමක් දක්නට ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

කෙසේවෙතත් මෙම පුද්ගලයා විශ්‍රාම ගොස් සිටීම සහ මෙම ඝාතනයට අදාළ වගකීම අතර යම් ගැටලුසහගත තත්ත්වයක් පෙනීයන බව ද කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ නිලධාරින්ට විසඳා ගතයුතු ගැටලු රාශියක් ඇති බව ද ඔවුහු කියති.

මියගිය පුද්ගලයා විසින් ලියා තබන ලිපිය “ලසන්ත ඝාතනය කළේ මම. එම නිසා මගේ යාලුවා වන මලින්ද මුදලාගම වැරදිකරුවෙක් නොවෙයි ඔහු නිදහස් කරන්න. මේ ලිපිය බුද්ධි අංශයට ලබාදෙන්න” යනුවෙන් එම ලිපියේ සඳහන් වන අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රේම් ආනන්ද උදලාගම ‍නොහොත් ආනන්ද උදලාගම නමැති හිටපු බුද්ධි අංශ මාණ්ඩලික සැරයන්වරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අතර ඔහුගේ නමත් සියදිවි නසාගත් විශ්‍රාමික හමුදා නිලධාරියා ලියන ලද ලිපියේ නමත් අතර ඇති වෙනස්කම් පිළිබඳව ද පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

සියදිවි නසාගත් විශ්‍රාමික හමුදා නිලධාරියා 2007 වසරේ විශ්‍රාම ගොස් ඇති අතර ඔහු මීට පෙර මිලේනියම් සිටි ආරක්ෂක නිවස්නයක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත්වී ඇත. මෙම නිලධාරියා ඉකුත් 14 වෙනිදා උදෑසන සිය නිවසේ මුළුතැන්ගෙයි බාල්කයේ එල්ලී සියදිවි නසාගෙන තිබූ අතර ඔහු දිවි නසාගැනීමට පෙර ලියන ලද ලිපියක් ද නිසා මහත් ආන්දෝලනයක් සිදුවිය.

එම නිසා මෙම මරණය හා ලියන ලදැයි කියන ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කෑගල්ල පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරයි. මිය ගිය පුද්ගලයා තිදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ මැදපෙරදිග රටක රැකියාවක නිරතව ඇත. මොහුගේ වැඩිමහල් පුතු කඩවත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරයි. දෙවැනි පුතු ක්‍රීඩා තරගයකට සහභාගි වීම සඳහා ඉන්දියාවට ගොස් ඇත. බාල පුතු ඥාති නිවසක සිට අධ්‍යාපන කටයුතුවල නිරත වන බව හෙළිවී ඇත.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල අධිකරණ නිලධාරි රමේෂ් අලගියවන්න මහතා විසින් පවත්වන ලද අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම මරණය තංගුස් ලණුවකින් ගෙල සිරවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කොට ඇත.

මෙම සියදිවි නසා ගැනීම සම්බන්ධව හා අදාළ ලිපිය සම්බන්ධව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles