Thursday, December 26, 2024

මේ වසරේදී තෙල් සංස්ථාවට සිදුවූ පාඩුව කෝටි 700 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට මිල ගණන් ඉහළ නොදැමීම නිසා ඔක්තෝබර් මාසය අවසන් වන විට ලබන අලාභය රුපියල් කෝටි 1,000 ඉක්මවා යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට මිල ගණන් ඉහළ නොදැමීම නිසා දැනට සංස්ථාවට සිදුව තිබෙන මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 7,000 වී තිබිණි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඊට සරිලන පරිදි ඉහළ නොදැමීම නිසා අලෙවි කරනු ලබන සෑම ඩීසල් ලීටරකින්ම රුපියල් තිහක්ද සෑම පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක්ද පාඩු වන බව ලංකා සභාපතිවරයා කීවේය.

දැනට ලබා තිබෙන අලාභය වන රුපියල් කෝටි 7,000න් කෝටි 4,000ක පාඩුවක් සිදුවී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම නිසා යැයිද ඉතිරි කෝටි 3,000ක පාඩුවට හේතුව රුපියල අවප්‍රමාණය වීම යැයි ගණන් බැලීම්වලදී තහවුරු වී තිබේ.

මේ වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන අතර, පිරිපහදු කරන ලද ඩීසල් බැරලයක මිල ඩොලර් 97 දක්වාත් පිරිපහදු කරන ලද පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 96 දක්වාද ඉහළ ගොස් ඇත.

ඉන්ධන මිල ඉහළ දමන ලෙසට කිහිපවරක් ඉල්ලීම් කළ බවත් ආණ්ඩුව ඒ පිළිබඳ තාමත් තීරණයක් ගෙන නැති බවත් සභාපතිවරයා කීය.

ඉන්ධන මිල ඉහළ නොදමා සිටිය හැකි කාලය ඉක්මවා ගොස් ඇතැයිද මෙයාකාරයට ඉන්ධන අලෙවි කළහොත් ඉතිහාසයේ සංස්ථාව ලබන වැඩිම පාඩුව බවට මෙය පත්වනු ඇතැයිද ඒ මහතා පැවසීය. මේ අතර බලශක්ති ඇමැති උදය ගම්මම්පිල මහතා කියා සිටියේ මේ ඔක්තෝබර් මාසයේදී පමණක් තෙල් සංස්ථාව රුපියල් කෝටි 1,000කට අධික පාඩුවක් ලබනු ඇති බවයි. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට හා ලංකා බැංකුවට රුපියල් කෝටි 3,600ක මුදලක් ණය වී සිටින අතර, ඩොලර් හිඟය නිසා ඉන්ධන මිලදී ගැනීමද විශාල අභියෝගයක් වී ඇතැයි තෙල් සංස්ථා ගිණුම් අංශ ප්‍රධානියකුද හෙළි කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles