Thursday, January 23, 2025

මෛත්‍රීට රාජ යෝගයක් තිබුණේ නෑ – ඉන්දික තොටවත්ත වෙරි මරගාතේ දොඩවයි..

පසුගිය සතියේ 19 වැනි දින ස්වාධීන රූපවාහිනියේ කළමණාකාර අධ්‍යක්ෂකවරයෙක් වන ධනුෂ්ක රාමනායකගේ විවාහ මංගල්‍යය ගුවන් හමුදාවට අයත් සීදූව ඊගල් බ්ලූ ලැගූන් හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ගණනාවක් සහභාගීවිය.

ඒ අතර පසුගිය සමයේ දේශපාලන අනාවැකි සම්බන්ධයෙන් මහා ප්‍රසිද්ධියක් උසුලා සිටි ඉන්දික තොටවත්ත නම් ජ්‍යොතීර්වේදියාද විය. බොහෝවිට අදාල විවාහයේ නැකැත් තුලාවන් සිදුකරන්නට ඇත්තේ ඔහු විසින්ය. කෙසේ වෙතත් විවාහය අතරමැද ඉන්දික තොටවත්ත සිට ඇත්තේ අධික ලෙස බීමත්ව වන අතර විවාහ මංගල්‍යයට පැමිණි පිරිසට තොටවත්තගේ මේ බීමත් හැසිරීම විශාල ගැටළුවක් බවටද පත්ව තිබී ඇත.

එක් අවස්ථාවක ඉන්දික තොටවත්ත බීමතින් පවසා ඇත්තේ “යහපාලන ආණ්ඩුවට තව තිබෙන්නේ මාස හයක් පමණක් බවත් ඉන් පසුව ආණ්ඩුවත්, ආණ්ඩුව රැගෙන ආ අයත් ඉවරටෙම ඉවරයි“ යනුවෙන් ප්‍රකාශකර ඇත.

මෙසේ මහ සද්දයෙන් ඉන්දික කෑගසද්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ අසල සිට ඇත. ඉන්දික මෙසේ කෑගසන්නට ප්‍රධාන හේතුවද එය බව වාර්තාවේ. කෙසේ වෙතත් පිරිසක් විසින් ඉන්දික තොටවත්ත ඒ මොහොතේ එතැනින් ඔසවාගෙන වෙනත් තැනකට ගෙන ගොස් ඇත.

නමුත් ජනාධිපතිවරයාට ඉන්දික තොටවත්ත කියූ දේ හොඳින් ඇසී ඇති අතර ඒ ප්‍රකාශය සමග ජනපතිවරයාගේ මුහුණත් වෙනස්වී ඇත.

පාඨලී ඉන්දිකව රැගෙන යයි

ඉන් අනතුරුව ඉන්දික විවාහය අවසන් වන තුරුම පෙනෙන්නට නොසිට ඇති අතර, පසුව දැනගන්නට ලැබී ඇත්තේ අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉන්දික තොටවත්ත වෙරිමතින්ම පාඨලීගේ නිවසට රැගෙන ගොස් ඇති බවයි.

එසේ රැගෙන යාමේ අරමුණවී ඇත්තේ පාඨලී චම්පක රණවක ඇමතිවරයාට කලක පටන් තිබූ රහස් පැනයක් විමසන්නටය.

එම ප්‍රශ්නය නම් පාඨලීට රාජ යෝගයක් තිබේද යන්නයි. නමුත් එම ප්‍රශ්නයට ඉන්දික තොටවත්ත ලබාදී ඇති පිළිතුර වන්නේ “චම්පක රණවකට එලෙස රාජ යෝගයක් නොමැති බවයි“ එම ප්‍රකාශයෙන් දැඩිලෙස ඉච්ඡාභංගත්වයට පත්ව ඇති පාඨලී නැවත අසා ඇත්තේ එසේනම් මෛත්‍රීපාල සිරිසේන මහතාට රාජ යෝගයක් තිබුණේද යන්නයි.

නමුත් එයටද ඉන්දික පිළිතුරු දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාටද රාජ යෝගයක් තිබී නැති බවයි..එවිට පාඨලි අසා ඇත්තේ එසේනම් ඔහු ජනාධිපතිවූයේ කෙසේද යන්නයි.

එවිට තොටවත්ත කියා ඇත්තේ මෛත්‍රී ජනපති වුණේ ඔහුගේ රාජ යෝගයක් නිසා නොව ඒ මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ජන්ම ඒරාෂ්ඨකයක් නිසාවෙන් බවයි. නොඑසේනම් කිසිවිටකවත් ඔහුට ජනපති තබා ඇමතිකමකින් ඔබ්බට යාමට හැකියාව නොතිබූ බවයි.

තොටවත්තගේ දෙබඩි කතා

මෙසේ වෙරිමතින් අනාවැකි ඇසීම මෙන්ම අනාවැකි කීම තරම් විහිළුවක් තවත් නොමැති අතර ඉන්දික තොටවත්ත වැනි පුද්ගලයෙක් මෙසේ පැවසීමත් එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමකි. ජනාධිපතිවරණය සමයේ මෛත්‍රී පිළිබඳව ඉන්දික තොටවත්ත සිදුකල ප්‍රකාශයන් සහ අනාවැකි සලකා බලද්දි තොටවත්ත කොතරම් දෙබඩි පිළිවෙතක් අනුගමන කරයිද යන්න සිතාගත හැක.

වර්තමානය වනවිටත් තොටවත්තගේ සරණ පතා යන දේශපාලඥයින් ප්‍රමාණය ඉතා ඉහලය. පසුගිය දිනක ගම්පහ පැත්තේ මහින්දගේ හොඳ සගයෙක්ටද ඉන්දික අපූරු අනාවැකියක් කියූබව වාර්තාවේ.

ඒ අනාවැකිය නිසා අදාල මන්ත්‍රීවරයා සිටින්නේද රාජ යෝග ඌෂ්ණයෙන් බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් ඉන්දික තොටවත්ත සිදුකරන ලද මේ ප්‍රකාශ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ යම්කිසි ආන්දෝලනයකට තුඩුදෙන සිදුවීම් කීපයක් ඉදිරියට සිදුවිය හැකි බවත් දැනගන්නට ලැබේ.

_ දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles