Sunday, September 22, 2024

යලි නොලියන,යලි නොඑන ගමන් ගිය ප්‍රවීණ ගේය පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ප්‍රවීණ මාධ්‍යවේදී දිනමිණ හා සිළුමිණ පුවත්පත්හි සමකර්තෘවරයකු , ගීත රචකයෙකු, කවියෙකු, මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභවප්‍රාප්ත වූයේය. මියයන විට 74 වන වියෙහි පසුවිය. ඔහු පසුගිය දිනවල අසනීපයෙන් පසුවූ බව පවුලේ ආරංචි හෙළි කරයි.

චන්ද්‍රිකා සිරිවර්ධන, පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කළ කැන්දන් යන්නේ කවදද මා, එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ බිදක් රැදී අසන් ලදේ, මාලනී බුලත්සිංහ ගැයූ සඳ මඩලේ සිට, දයාරත්න රණතුංගයන් ගායනා කළ සම කෝණී ත්‍රිකෝණයකි, සුජාතා අත්තනායක ගැයූ සතරවටින් කළුකරගෙන වහින වේලාවේ, සුනිල් එදිරිසිංහයන් ගැයූ වාදකයාණෙනි ඔබේ සිතාරය, ගුණදාස කපුගේ ගැයූ නාඹර ගොයමට, ටී,එම්. ජයරත්න ගැයූ මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ, රූකාන්ත සමග චන්ද්‍රලේඛා ගැයූ සඳලේඛා, කීර්ති පැස්කුවෙල් ගැයූ රිදී සීනු සිනාවේ, පුන්සිරි සොයිසා ගැයූ ගංගා දියවැල් ගලා මෙන්ම සන්ෆලවර් ගැයූ ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් නිර්මාණය කළ ජයප්‍රිය ගී පදවැල් කිහිපයක් ය.

යුග තුනක ගායන පරපුරුවලට ගී නිර්මාණයෙන් දායක වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත – චන්ද්‍රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත.

ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි. සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ ගීත අතරින් බොහොමයක් ගී තනු සරත් දසනායකයන්ගේ ය. ඔහු රචනා කළ ගුවන් විදුලි ගීත අතර බහුතරයක් ඇත්තේ දේශභිමානී ගීතය.

ඔහු වරක මෙසේ කියා තිබේ.
“මම ගීත ලියන්න හිතුව කෙනෙක් නෙවෙයි. ඒ කාලේ පුන්සිරි සොයිසා සහ විමලසිරි ලොකුලියන මගේ හොඳම මිත්‍රයෝ. විමලසිරිට ඕනෑ වුණා තරඟයක් සඳහා ගායනා කරන්න ගීතයක් ලියවා ගන්න. මාව ගොඩක් අමාරුවෙන් ඒ සඳහා කැමැති කරගත් ඔහුට, මම ගීතයක් ලියලා දුන්නා.
කාලයක් යද්දි පුන්සිරි සොයිසා කියන මගේ මිත්‍රයාට මම ගීතයක් ලියලා දුන්නා. ‘රුසිරු දසුනක් නෙතට පාවී’ කියලා. නමුත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණු මගේ පළමු නිර්මාණය වුණේ සී. එල්. පෙරේරා ගායන කළ ‘මුතුකැට මතුවුණු මහ සයුරයි’ ගීතයයි.ඒ වෙද්දී මම ගීත රචකයෙකු ලෙස දිගු ගමනක් ඇවිත් තිබුණෙ නැහැ. හැත්තෑව දශකයේ මුල් භාගයේ දී මම ලංකාදීප කර්තෘ මණ්ඩලයට එකතු වුණා.”

එතනින් තමයි මගේ ගීත රචනයේ ප්‍රබල ආරම්භයක් සිදු වුණේ. ඒ කාලයේ දී මට සරත් දසනායකයන්ව හඳුනා ගන්න ලැබුණා. ඒ ගීතයක් නිසාවෙන්මයි. ඒ හඳුනා ගැනීමත් සමඟ සරත් – සමන් සුසංයෝගයෙන් බොහෝ ගීත නිර්මාණ බිහිවුණා. සංගීතය සැපයුවා. දශක හතරක කාලයක් පුරාවට මම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ප්‍රවීණයන්ට වගේ ම අද පරපුරටත් ගීත නිර්මාණය කර තිබෙනවා. මා නිර්මාණය කළ ගීත වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, කලාසූරි ලතා වල්පොල වැනි ප්‍රවීණයන් වගේම, රුක්මන් අසිත, දුලාජ් ධනුෂ්ක වැනි ආධුනිකයෝත් ගායනා කළා. මගේ ගීත නිර්මාණයට සංගීත පරපුරු කිහිපයක් දායකවීම මේ ගමනේ දී මට සුවිශේෂයි.

ඉතාමත්ම ජනප්‍රිය ගීත නිර්මාණ රැසකට පද රචනයෙන් දායක වූ එතුමා අතින් ලියවුනු ගීත කිහිපයක් මෙසේ දක්වමු.

  • ‘සඳ මඬලේ සිට තරු මඬලේ සිට’
  • ‘නාඹර ගොයමට රහස් කියාලා’
  • ‘සොඳුර මට සමු දෙන්න සමුදෙන්න’
  • ‘බිඳුවක් ඉවසා අහන්න හිතවත’
  • ‘සෙව්වන්දියකට පෙම් බැන්දා’
  • ‘රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ’
  • ‘රන් තාරකාවෝ නෑ නිදියන්නේ’
  • ‘කවිකාරියේ – සිංදු කියනා ළඳේ’
  • ‘සමකෝණී ත්‍රිකෝණයකි’
  • ‘හිම රේණු වැටෙනා සීතලේ’
  • ‘සඳුනී සඳුනී – ඇයි සුදු කොපුල් තෙමන්නේ’
  • ‘හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ’

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles