යාපනයේ කැම්පස් කොල්ලෝ දෙන්නෙක් මරලලු! හැප්පිලාලු මැරිලා තියෙන්නේ! නෑ, පොලීසියෙන් වෙඩි තියලලු! උතුරේ හර්තාල්ලු! දැන් මොකද වෙන්නේ!
පසුගිය 20 වැනිදා රාත්‍රියේදී යාපනයේ සිදු වූ තරුණ මරණ දෙකක් සම්බන්ධයෙන් රට පුරා ඇති වෙමින් පැවතියේ මෙවැනි කතාබහකි. මෙයට තවත් අඩුම-කුඩුම එක් කළ බොහෝ පිරිසක්ද වූහ. ඔවුහු තම හිතැඟි පරිදි බොහෝ දේ නිර්වචනය කරමින් තම මතවාද සමාජගත කිරීමට වැර දැරූහ. මේ සියල්ල සිදු වෙමින් තිබෙන අතරතුර අප යාපනය බලා ගියේ මෙහි සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටය.
වාර්තා වී ඇති අන්දමට මේ සිදුවීම් මාලාවේ ආරම්භය සිදු වන්නේ 20 බ්‍රහස්පතින්දා මධ්‍ය රාත්‍රිය ආසන්නවය. මේ සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබිණි.
“2016.10.20 වැනි දින පැය 2355ට පමණ යාපනය පොලිස් වසමේ කන්කසන්තුරය මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී යාපනය දෙස සිට චුන්නාගම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මරණකරුවන්
නඩරාසා කජන්, වයස: අවුරුදු 23යි, ලිපිනය: අංක 155, කිලිනොච්චිය.
සවුන්ඩ් රාජා සුලක්ෂන්, වයස: අවුරුදු 24යි, ලිපිනය: කන්දරෝඩෙයි පාර, චුන්නාගම්.
මෘත ශරීර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත…..”
අහසට වෙඩි
මෙලෙස සාමාන්‍ය අනතුරක් ලෙස දැක්වෙන පරිදි නිවේදනය නිකුත් කෙරී තිබිණි. එහෙත් නිවේදනය නිකුත් කෙරෙන අවස්ථාව වන විටත්, මේ මරණ දෙක සැක සහිත මරණ දෙකක් බව සමාජයට ඒත්තු යමින් තිබිණි. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිදු වන සුලක්ෂන්ගේ මරණය පවුලේ සාමාජිකයන්ට දැනගන්නට ලැබෙන්නේ සිකුරාදා පෙ.ව. 2.00ට පමණය. ඒ සුලක්ෂන්ගේ මිතුරකු වන ඩයනස් විසින් නිවෙසට ලබාදෙන දුරකතන ඇමතුමකිනි. පසුව සුලක්ෂන්ගේ ඥාතීන් රෝහලට පැමිණියද ඔවුන්ට ඔහුගේ සිරුර දැකගන්නට නොලැබේ. පසුව මොවුන් විශ්වවිද්‍යාල සිසුන් දෙදනකු නිසා මරණ පරීක්ෂණය පවත්වන ලෙස පවුල් දෙකේම සාමාජිකයෝ ඉල්ලා සිටියහ. අවසානයේ මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කරනුයේ වෙඩි වැදීමෙන් සුලක්ෂන්ගේ මරණය සිදුව ඇති බවයි. මේ 21 වැනි දින සන්ධ්‍යා භාගයේය. මේ සමඟම පොලිසිය තමා අතින් වරදක් සිදු වූ බව පිළිගනී. ඒ අනුව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරනුයේ අණ නොතකා ධාවනය වූ යතුරුපැදියට වෙඩි තැබීමට සිදුවූ බවයි. මෙය අවම බලය පාවිච්චි කිරීමක් ලෙස අහසට වෙඩි තැබූ බවත් කීවේය. පොලිසිය සැබෑ තත්ත්වය හෙළි කිරීමට කල් මැරීම නිසා ඒ වනවිටත් ප්‍රශ්නය නරක අතට හැරෙමින් තිබිණි. එක් අතකින් අවස්ථාවාදී කණ්ඩායම් විවිධ අසත්‍ය තොරතුරු පතුරවා තිබිණි. මේ කල්මැරීම නිසාම පොලිසිය ගැන සැකය, අප්‍රසාදය, සාධාරණ පරීක්ෂණ පැවැත්වීම ගැන සැකය යාපනය සමාජයේ ලියලමින් තිබිණි.
පොලිස් වෙඩි පහරින් වෙඩි වැදුණු සුලක්ෂන් යාපනය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයෙකි. පස් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියා වූ ඔහුට වැඩිමල් සහෝදරයෙක්, බාල සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියක් සිටිති. පියාට හරිහමන් රැකියාවක් නොවූ අතර, ඔහු කුලීවැඩ කරමින් සිය පවුල පෝෂණය කරවීය. එහෙත් පියා දැන් පසුවන්නේ රෝගී තත්ත්වයෙන් නිසා පවුල වෙනුවෙන් වැඩි යමක් කිරීමේ වගකීම සුලක්ෂන්ගේ වගකීම් අතර තිබිණි. තවද නාට්‍ය කලාව වෙනුවෙන් දස්කම් දැක්වූ ඔහු වේදිකා නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කර තිබේ. රඟපෑමෙන් දක්ෂ නළුවකු බවට සමාජය තුළ ප්‍රසාදයක් ද ඔහු දිනා තිබිණි. නාට්‍ය කලාව පිළිබඳ කුඩා දරුවන්ට විශේෂ අවස්ථාවල දේශන පවත්වා මුදල් ඉපයීම ඔහුට යම් ආර්ථික සහනයක් ගෙන දුන්නේය. එමෙන්ම අනෙක් අවස්ථාවලදී කජන් සමඟ කුලීවැඩ කර ජීවිතය ගැට ගසා ගැනීමට වැර දැරූවෙකි. තවද ඔහු පසුගිය කාලයේ පැවැති ශිෂ්‍ය අරගලවලදී කැපී පෙනුණු අයෙකි.
යාපනය විශ්වවිද්‍යාලයේම දේශපාලන අංශයේ ශිෂ්‍යයකු වූ කජන් ද, සුලක්ෂන් මෙන්ම ඉතා දිළිඳු පවුලක් ජීවත් කරවීමේ සටනද උර දෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය අයෙකි. ඔහුගේ මව නඩරාසා සරෝජනී (61) අප සමඟ කියා සිටියේ තම දෙනෙත වන් දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදීම තවමත් තමාට ඇදහිය නොහැක්කක් බවයි.
“මට ළමයි හත් දෙනෙක් ඉන්නවා. කජන් තමයි පස් වැනියා. එයාට අක්කලා හතර දෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. එයාලගේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ අපි ජීවත් වුණේ හරි අමාරුවෙන්. මට ඇදුම තියෙනවා. ඒ හින්දා මට ලොකු වැඩක් පලක් කරන්න අමාරුයි. කජන් මට වැඩ කරන්න දෙන්නේ නෑ. කැම්පස් ගියාට සෙනසුරාදා, ඉරිදාට එයා මේසන් වැඩ කරනවා; කුලී වැඩ කරනවා. ඒ සල්ලිවලින් තමයි එයා ඉගෙන ගන්නේ. මට ඕනේ කරන බේත් ටික හොයලා බලලා අරන් දෙනවා. මට රෑට හීතල එනවා කියාල එයා මට අඳින්න වෙනම ඇඳුම් හිටන් අරන් දුන්නා. එයාගේ කකුල්වල ආබාධයක් තිබුණා: කකුල් බකල් වෙලා තිබුණේ. මම එයාව සනීප කරගන්න හුඟක් උත්සාහ කළා. ඒත් මගේ අනිත් ළමයි බලාගෙන මම කොහොමද එයාව අරගෙන ඉස්පිරිතාල ගානේ යන්නේ. හරිහමන් බේතක් හේතක් දෙන්න මට බැරි වුණා. පුතාගේ කකුල් දෙකේ ප්‍රශ්නේ නිසා එයා හරි පීඩනයකින් හිටියේ. එයා හිතාගෙන හිටියේ කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන රස්සාවක් අරගෙන පිට රටකට ගිහින්ලා හරි කකුල් දෙක හදාගන්නවා කියලා. ඒත් මගේ පුතා ඒ එකක් වත් කරගන්න කලින් අපිව දාලා ගියා.”
කජන්ගේ මව කියන ආකාරයට සුලක්ෂන් සහ කජන් පාසල් වියේ සිට ඉතා සමීප මිතුරෝය. මේ මිත්‍රත්වය විශ්වවිද්‍යාලයේදී තවත් සවිමත් වී තිබේ. කිලිනොච්චියේ සිටි කජන් බොහෝ විට විශ්වවිද්‍යාලයට ගියේ සුලක්ෂන්ගේ නිවෙසේ නැවතී සිටය. කජන්ට තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා තම නිවෙසේ නතර වී අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීමට සුලක්ෂන්ගේ මවුපියෝද විරෝධය නොපෑහ. කජන් මෙයට කෙළෙහි ගුණ දැක්වූයේ තමා යන කුලී වැඩවලට මිතුරාද කැටුව යමිනි; අනෙක් අතට සුලක්ෂන්ගේ නිවෙසේ බොහෝ වැඩකටයුතු කර දෙමිනි.
කජන්ගේ මවගේ මතකයේ හැටියට කජන් අවසන් වරට නිවෙසට පැමිණියේ 17 වැනිදා සඳුදා ය. ඉන් පසුව මවට ඔහු හමු වී නැත. මරණය දැනගන්නා මොහොත තෙක් ඇය සහ පවුලේ අය දන්නේ මෙපමණකි.
“බ්‍රහස්පතින්දා හවස 6.00ට විතර එයා යාළුවකුගේ බර්ත්ඩේ පාර්ටි එකකට ගිහින් තියනවා. එතෙන්දි පුතා යාළුවොත් එක්ක නටලා එහෙමත් තියෙනවා. ඒක එයාගේ යාළුවෙක් වීඩියෝ කරලා තියෙනවා. (ඇය ජංගම දුරකතනයක තිබූ වීඩියෝවක් අපට පෙන්වයි. ඊළඟට‘මේ ඉන්නේ මගේ පුතා,‘ අයකු පෙන්වමින් ඇය කියයි.) පස්සේ රෑ 9.00ට විතර එයාගේ මල්ලිට කතා කරලා අහලා තියෙනවා මොකද කරන්නේ කියලා. එතකොට පොඩිපුතා කියලා තියෙනවා ‘මම තවම මඟ‘ කියලා. ඊට පස්සේ ‘අම්මයි අක්කලයි තනියම ඉක්මනට ගෙදර පලයං‘ කියලා තියෙනවා. පස්සේ තමයි අනතුර ගැන දැන ගත්තේ.”
ඔළුවට හානි
සුලක්ෂන්ගේ මවට අනුව සුලක්ෂන් විශ්වවිද්‍යාලයේ සිට සවස නිවෙසට පැමිණ තිබේ. පසුව රාත්‍රී නවයට පමණ විශ්වවිද්‍යාලයේ සටහන් ලබා ගැනීම සඳහා මිතුරකුගේ නිවෙසට ගොස් තිබේ. එහිදී ඔහුගේ බයිසිකලය මිතුරකුගේ බයිසිකලයක් සමඟ හුවමාරු කර ගනී. ඒ අනුව සටහන් ලබාගැනීම සඳහා ඔහු නික්ම යන්නේ සීටී 100 වර්ගයේ ඉන්දියාවේ නිෂ්පාදිත මෝටර් සයිකලයකිනි.
ඉන්පසුව සිදු වූ, සුලක්ෂන් සහ කජන් හමුවීම, ඔවුන් එකම බයිසිකලයක යෑම පිළිබඳ දන්නා කිසිවකු ගැන තොරතුරු අපට හමු නොවිණි.
ඊළඟට කජන්ගේ මවට දැකගැනීමට හැකි වන්නේ කජන්ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරයි.
“ඉස්පිරිතාලෙදි පුතාගේ බොඩි එක පෙන්නුවා. මම කකුල් දෙක දැක්ක ගමන්ම ඒ මගේ පුතා කියලා අඳුනාගත්තා. එයා ගාව ලේ ගලලා තිබුණා. ජැෆ්නා යුනිවර්සිටි කියලා ගහලා තිබුණු පුතාගේ ටී ෂර්ට් එක පැත්තක තිබුණා. පුතාගේ ඔළුව හොඳටම තැළිලා විනාශ වෙලා තිබුණේ. හෙල්මට් දාගෙන ගිහිල්ලා, හෙල්මට් එකට හානියක් නොවී මෙච්චරම ඔළුවට හානි වුණේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ” කජන්ගේ මව සරෝජනී කීවාය.
සුලක්ෂන්ගේ ඥාතිෙයකු වන රජීපන් (29) කියා සිටියේ තම සහෝදරයාගේ ඉදිරිපසින් යටිබඩ ප්‍රදේශයට වෙඩි වැදී, එය උරහිස ආසන්නයෙන් පසාරු වී තිබුණු බවයි. “වේගයෙන් ධාවනය වූ බයික් එකට වෙඩි තියන්න වෙන්නේ පිටි පස්සෙන්නේ. එතකොට බයිසිකලේ පිටිපස්සේ හිටපු කෙනාට වෙඩි නොවැදී ඉස්සරහ ගිය කෙනාට වෙඩි වැදුණේ කොහොමද? අනික, වෙඩි වැදිලා තියෙන්නෙත් ඉස්සරහ පැත්තෙන්.”
ආවා කල්ලිය
අණ නොතකා ධාවනය කළ බයිසිකල්කරුවන්ට වෙඩි තැබුයේ ඇයි? සීසී 100 වර්ගයේ යතුරුපැදිය හඹා ගොස් අල්ලාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාවක් තිබුණේ නැද්ද? ලංකාවේ මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක නොවේ. එවැනි තත්ත්වයක වෙඩි තැබීම ගැටසහගතය. තවද අවම නීතිය ක්‍රියාත්මක කිරීම ගැනද කියවේ. බීමතින් සිටි බවටද සිසුන්ට චෝදනා එල්ල වේ. යතුරුපැදියක සිටි තරුණයන් දෙදෙනකුගේ බීමත් බව පොලිසියට දැනුණේ කෙසේද? මෙවැනි ගැටලු සහගත තැන් ගණනාවකි.
මේ මරණ දෙකෙහි නියම තතු සඟවා තබාගැනීමට වැර දැරීමෙන් වූයේ සමාජය කැලඹීමක් පමණි. බදාදා දින සිදු වූ හර්තාලයකින් උතුරේ සියලු කටයුතු ඇනහිටිණි. යාපනය සරසවියේ දේශනවලට සහභාගි වීම සිසුහු වර්ජනය කළහ. වෙනත් සංවිධාන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්හ. ‘ආවා‘ කල්ලිය ඉන් එකකි. ඔවුන් මියගිය සිසුන් දෙදෙනාගේ ඡායාරූප දමා පෝස්ටර් ව්‍යාපාරයක්ද අරඹා තිබිණි.
බුද්ධි අංශ
අවසානයේ බොහෝ දෙනා නිර්වචනය කළේ එය සහ සිසුන්ගේ මරණ අතර සම්බන්ධයක් පවතින බවයි. තවද පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පිහිවලින් කපා දැමිණි. එයද ආවා කණ්ඩායම ශිෂ්‍යයන්ගේ මරණයට කළ පළිගැනීමක් බව සමහර පිරිස් ප්‍රකාශ කළහ. එහෙත් පසුව කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ රෙදි කඩයක මුදල් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් බවයි. එහිදී සිවිල් ඇඳුමින් සිටි බුද්ධි අංශ පොලිස් නිලධාරියා හඳුනාගැනීමට නොහැකිව කපාදමා තිබෙන බවයි. කොටින්ම සිසුන්ගේ මරණයත් මේ ගැටුමත් අතර සම්බන්ධතාවක් නැති බවයි.
තවද මේ වන විට මානව හිමිකම් කොමිසමට ලැබී ඇති වාර්තාවකට අනුව මීට කලින් අවස්ථාවක සුලක්ෂන්ට ‘ආවා‘ නමැති කණ්ඩායම පහර දී ඇති බව කියැවේ. ඒ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිලි කළද ඒ ගැන පරීක්ෂණ සිදුව නැත. තවත් අවස්ථාවකදී ඔහුගේ සොහොයුරිය විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර, එහිදී සංවිධානාත්මක පිරිසක් ඇය විදේශගත කරවීම වළක්වන ලෙසද සුලක්ෂන්ට තර්ජනය කර තිබේ. මරණය සිදු වන විට සහෝදරිය විදේශගත වී ගෙවී තිබුණේ කෙටි කාලයකි.
කොකුවිල් මහජන බැංකුව පසු කළ පසු තිබෙනුයේ ABY- Bake and cream house යන වෙළෙඳ සලයි. ඊට ඔබ්බෙහි වූ පටු මාවතක් අසල සිසුන් දෙදෙනා මේ ඛේදවාචකයට මුහුණ දී ඇත. අනතුර සිදු වන විට එම ස්ථානයට ඉදිරියෙන් තිබෙන විදුලිබල මණ්ඩල කාර්යාලයේ අයකු සේවයේ යෙදී සිටි බව කියවෙන අතර, එහෙත් ඔහුට කිසිම ශබ්දයක් නො ඇසුණු බව ප්‍රකාශ කර තිබේ. එහෙත් අසල්වැසි පිරිස් කියනුයේ වෙඩි ශබ්ද ඇසුණු බවයි. අසල තිබෙන ABY- Bake and cream house ආයතනයේ සීසීටීවී කැමරා සවි කර තිබේ. මෙහිදී ඒ කැමරා පරීක්ෂා කළ හොත් යම් තොරතුරක් මේ සම්බන්ධයෙන් ලබාගත හැකි වනු ඇති බවට බොහෝ දෙනාගේ විශ්වාසයයි.
කෙසේ හෝ දැන්වත් විය යුත්තේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමය. මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අදහස් දක්වමින් අප සමඟ කියා සිටියේ, 2009 වර්ෂයෙන් පසුව යාපනයේ සිදු වූ මේ වෙඩි තැබීම තමා හෙළාදකින බවයි. සමහර මාධ්‍ය වාර්තා පවා හාස්‍යසහගත බවද ඔවුහු කියා සිටිති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බව කියා සිටින ආචාර්යවරුන්ගේ සංගමය මියගිය දරුවන්ගේ පවුල් වෙනුවෙන් අරමුදලක් පිහිටවන බවද ප්‍රකාශ කළේය.
දැනට දේශනවලට සහභාගී නොවී වර්ජනය කර සිටින තමන් දේශනවලට විශ්වවිද්‍යාලය නැවත සම්බන්ධ වීමට නම් මේ මරණවලට සම්බන්ධයෙන් සාධාරණ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දිය යුතු බව යාපනය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති එස්. ජසෝතරන් කියා සිටී.
“මේ ඝාතන නඩුව සම්බන්ධයෙන් විශ්වසනීය හා අපක්ෂපාතී විමර්ශනයක් නීත්‍යනුකූල හා උචිත නෛතික නියෝජනයක් සමගින් තහවුරු කිරීම, මේ ඝාතනය හදිසි අනතුරක් ලෙස හුවා දැක්වීමට දරන පොලිසියේ නීතිවිරෝධී හා සදාචාර විරෝධී හැසිරීම ගැන විමර්ශනයක් ජාතික පොලිස් කොමිසමෙන් සිදු කිරීම, අපක්ෂපාතී විමර්ශනය අධීක්ෂණ කිරීමට දේශීය හා අන්තර්ජාතික මානව හිමිකම් ආයතන හා ක්‍රියාකාරීන්ට මැදිහත් වීමට අවස්ථාව ලබාදීම, ප්‍රමාදයකින් තොරව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර මසක් ඇතුළත විත්තිකරුවන්ට විරුද්ධව පැමිණිල්ලක් මහ අධිකරණයට ගොනු කිරීම, සිදු වූ හානිය වෙනුවෙන් ආර්ථික සහනයක් පවුල්වලට ලබාදීම” මේ අතර ප්‍රධාන බව ඔහු කියයි.
හිතලු මාධ්‍ය
විශාල සැකයක් පරීක්ෂණ සම්බන්ධයෙන් දැනටමත් මතුව ඇතිව තිබෙන බව විශ්වවිද්‍යාල සිසුහු කියති. මේ නිසාම ප්‍රකාශයක් පවා ඔවුන්ගෙන් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් තිබේ. විපතට පත් පවුල්වල සාමාජිකයන්ට හෝ වෙනත් අයහට එල්ල වූ බලපෑම් ගැන වාර්තා වී තිබෙනවාද යන්න ගැන අපි යාපනය මානව හිමිකම් කාර්යාලයේ කලාප සම්බන්ධීකාරක ටී. කනගරාජ්ගෙන් විමසුවෙමු.
“එහෙම තත්ත්වයක් අපට වාර්තා වෙලා නම් නැහැ. කිසියම් බලපෑමක් කිසිවකුට වෙනවා නම් කියන්න කියලා අපේ දුරකතන අංක පවා දීලා තියෙනවා. ඒත් එහෙම සිදුවීම් වාර්තා වෙලා නම් නැහැ.”
මෙරට පොලිසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති වූයේ උතුරට පමණක් නොවේ. දකුණටද තිබෙන්නේ මෙවැනි අත්දැකීම්ය. අවස්ථාවාදී දේශපාලනඥයන් රැසක් මෙයින් උතුර විශේෂ කොට කථා කරන බව පෙනේ. එහෙත් දකුණේද පොලීසිය වෙඩි තැබීම්, පහර දීම් සම්බන්ධයෙන් ප්‍රකටය. මේ අනුව බලන විට මේ ප්‍රශ්නයට උතුර – දකුණ කියා බෙදීමක් නැත; සිංහලද දෙමළද කියා වෙනසක්ද නැත. පොලීසියට හැදියාවක් දිය යුතුව තිබේ. තවද මාධ්‍ය සම්බන්ධයෙන්ද තිබෙන්නේ මෙබඳුම තත්ත්වයකි. තමන්ගේ හිතලු මාධ්‍ය ඔස්සේ දිග හරිමින්, සමාජ ජාල භාවිත කරමින් වැරදි ඡායාරූප මගින් සමාජය ගිනි තබන අවස්ථා මේ සිදුවීමේදීද අපට දක්නට ලැබිණි.
දැන් මේ සියල්ල සිදු වී අවසන්ය. වටිනා තරුණ ජීවිත දෙකක් රටට අහිමිව ඇත. ජනතාව ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසය. මුල සිටම නැති කරගත් විශ්වාසය ජනතා හදවත් තුළ ඇති කිරීම කාගේත් වගකීමය.
කජන්ගේ මව කියූ දෙයක් අපේ මතකයට නැඟෙන්නේ මේ සියල්ලන්ටම පිළිතුරක් ලෙසය.
“අපි යුද්දෙට බයයි. අපි හොඳටම ඒකෙන් පීඩා වින්දා. ආයේ ඒවට ඉඩ තියන්න එපා. මගේ පුතා මැරුණා තමයි. මට දුකයි. ඒත් ඒකෙන් වාසි අරගෙන ගැටුම්වලට මිනිස්සුන්ව පොලඹවන්න එපා. තවත් අම්මා කෙනකුට දුක් දෙන විදිහට වැඩ නො කරන්න මේකට සාධාරණ පරීක්ෂණයක් තියන්න.”
පරීක්ෂණවල වර්තමාන තත්ත්වය ගැන පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුගෙන් අදහස් දැන ගැනීමට කීප වරක් උත්සාහ දැරුවද එය අසාර්ථක විය.