Saturday, September 21, 2024

යාපනය සිද්ධිය සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්…

යාපනය විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇතිවු ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය පවසයි.

ඇය පවසන්නේ අදාළ කමිටුව වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි.

පසුගිය 16 වැනිදා විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම විශ්වවිද්‍යාලය තාවකාලිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ පස්වරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදි උපකුලපතිවරිය සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බවයි.

තමන් සිද්ධියට මැදි වූ දෙපාර්ශවය සමග සාකච්ඡා කළ බව පවසන උපකුලපතිවරිය සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සමග ද තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

කෙසේවෙතත් යළි මෙවැනි ආකාරයේ සිදුවීමක් විශ්වවිද්‍යාලය තුළ ඇති නොවීමට ඔවුන් ප්‍රතිඥා දුන් බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය සඳහන් කර සිටියි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධියේ සම්පූර්ණ වගකීම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය ඇතුළු පාලනාධිකාරිය විසින් භාරගත යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔවුන් නිසි පරිදි කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට හැකියාව තිබූ බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලිස් කොමිසමෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව  ද මනෝ ගනේෂන් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වු සිද්ධිය පිළිබඳව පොලීසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අදාළ උපදෙස් ලබාදුන් බව අද දෙරණ කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

මීට අදාළ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස තමන් එම නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles