Friday, September 20, 2024

යුක්රේන – රුසියානු යුද අර්බුදයට අත පෙවූ
ඉන්දියාවේ දැවැන්ත මානුෂීය මෙහෙයුම

ඔපරේෂන් ගංගා වැඩසටහන යටතේ රුසියා – යුක්රේන යුද ගැටුමට මැදි වූ ඉන්දියානුවන් 2,200 දෙනෙක් අද (06) පෙරවරුවේ යළි ඉන්දියාව වෙත ළඟා වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් යානා පහක් හංගේරියාවේ බුඩාපෙස්ට්, යානා හතරක් රුමේනියාවේ සිචාවා සහ යානා දෙකක් පෝලන්තයේ රෙෂොෆ් නගරවලින් පිටත් වනවා.

ඔපරේෂන් ගංගා වැඩසටහන ආරම්භ කෙරුණු පෙබරවාරි 26 වැනිදා සිට මේ දක්වා ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17 යානා 7ක් ඇතුලු මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම් 43ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දියානුවන් 9364 දෙනෙක් නිරුපද්‍රිතව සිය මව්බිම කරා නැවත පැමිණියා.

යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය ඔපරේෂන් ගංගා වැඩසටහන යටතේ ගුවන් මෙහෙයුම් 80ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිටයි.

කිසිදු බාධාවකින් තොරව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකුට වැඩි අමාත්‍ය කමිටුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබ තිබෙනවා.

මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා පිටත් කර යවනු ලැබුවා.

ඔපරේෂන් ගංගා යටතේ හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලින් පැමිණෙන ඉන්දියානුවන් දිල්ලි සහ මුම්බායි ගුවන් තොටුපළේදී සම්බන්ධීකරණයට තවත් අමාත්‍යවරු පිරිසක් පත් කර තිබෙනවා.

ගත වූ කාලය තුළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔපරේෂන් ගංගා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් සමග ඉහළ පෙළේ සාකච්ඡා වට තුනක් පවත්වා තිබෙනවා.

එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වාණිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ඔපරේෂන් ගංගා සමග එක්ව සිටිනවා.

රුමේනියානු අගනුවර වන බුකරෙස්ට් සිට එයාර් ඉන්දියා ගුවන් ගමන් 14ක්, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් අටක්, ඉන්ඩිගෝ ගුවන් ගමන් හතක්, ස්පයිස් ජෙට් ගුවන් යානයක්, විස්තාරා ගුවන් ගමන් තුනක් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් ගමන් දෙකක් ඇතුළත් වන පරිදි මුදා ගැනීමේ ගුවන් ගමන් වාර 35ක් සැලසුම් කර තිබෙනවා.

හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර සිට ගුවන්යානා 28ක් පිටත් වීමට නියමිතයි.

ගුවන් ගමන් 15ක් ගෝ එයාර් වෙතින්ද, නවයක් ඉන්ඩිගෝ වෙතින්ද, දෙකක් එයාර් ඉන්දියා වෙතින්ද, ඉන්දීය ගුවන් හමුදාව සහ ස්පයිස් ජෙට් එක් ගුවන් වාරය බැගින් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පෝලන්තයේ රෙෂොෆ් සිට ගුවන් ගමන් නවයක් සැලසුම් කර ඇති අතර, ඊට ඉන්ඩිගෝ වෙතින් 8 ක් සහ ඉන්දියානු ගුවන් හමුදාවෙන් එක් ගුවන් ගමන් වාරයක් ඇතුළත්.

රුමේනියාවේ සිචාවා වෙතින් ගුවන් ගමන් පහක් සහ ස්ලෝවැකියාවේ කොෂිස වෙතින් ගුවන් ගමන් තුනක් පිටත් වීමට නියමිතයි.

මෙම ගුවන් ගමන් වාර 80 මගින් ආසන්න වශයෙන් අතරමං වූ ඉන්දියානුවන් 17,000ක් පමණ යුක්රේනයෙන් ආරක්ෂිතව ඉවත් කෙරනු ඇති.

ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන එකම රට ඉන්දියාවයි.

යුක්රේනයේ අතරමංව සිටින ඉන්දියානු ජාතිකයන් ඉවත් කිරීම අධීක්ෂණය කිරීම සඳහා ස්ලෝවැකියාවට ගොස් සිටින අමාත්‍ය කිරන් රිජිජු පවසන්නේ යුද ගැටුමට මැදිවූ අවසන් ඉන්දීය පුරවැසියා ද ආරක්ෂිතව ඉවත් කරන තුරු තමන් පිටත්ව නොයන බවයි.

“අපගේ ප්‍රමුඛතාවය සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කිරීමයි. සෑම ඉන්දියානුවෙකුම ආරක්ෂිතව ඉවත් කරන බවට අපි දැනටමත් අපගේ සහතිකය ලබා දී තිබෙනවා. එය අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීමයි. කාවවත් දාලා යන්නේ නැහැ. යුද කලාපයේ ඉන්න අයට යම් යම් බලපෑම් තියෙනවා. වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර එල්ල වෙන නිසා අපේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයටවත් එම ප්‍රදේශවලට ළඟා වෙන්න බැහැ. ඉතින් අමාරුයි. ඉවත් කිරීම ලේසි නැහැ. තත්වය හරිම අභියෝගාත්මකයි. නමුත් තවමත්, අපි උත්සාහ කරමින් සිටිනවා.” යුක්රේන දේශසීමාව තරණය කිරීමෙන් පසු ස්ලෝවැකියාවේ කොෂිස වෙත ළඟා වූ ඉන්දීය සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහනක දැක්වුණේ යුක්රේනයේ සිට පැමිණි සිසුන්ගේ මුහුණුවල තිබුණු සහනය දැකීම සතුටක් බවයි.

කෙසේ වෙතත්, සටන් විරාමයකින් තොරව යුද කලාපයේ සිටින පුද්ගලයින් ඉවත් කිරීම දුෂ්කර බව රජය පවසනවා.

අදාළ පාර්ශ්වයන්ගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම්, අරින්දම් බාෂි පැවසුවා.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්‍රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ රැඳී සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළා.

රුසියානු හමුදා යුක්රේනයේ හමුදා මෙහෙයුම් දියත් කළේ පෙබරවාරි 27 වනදායි.

ආක්‍රමණයේ 10 වැනි දිනය වන විට යුක්රේන නගර වෙත රුසියාවේ ඉදිරි ගමන තීව්‍ර වී තිබෙනවා.

රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර වෙත ආසන්න වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව යුද ගැටුම් හේතුවෙන් මේ දක්වා සිවිල් වැසියන් 358 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් ආක්‍රමණය හෙළා දකිමින් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ද කටයුුතු කළා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගෙන් ඉල්ලා සිටියේ තමන් සමඟ සාකච්ඡාවකට එක්වන ලෙසයි. යුද්ධය නිමා කළ හැකි වන්නේ එමඟින් පමණක් බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ දත්ත අනුව රුසියාව සිය ආක්‍රමණය දියත් කළ දා සිට මිලියන 1.3කට අධික ජනතාවක් යුක්රේනයෙන් පලා ගොස් තිබෙනවා.

බොහෝ දෙනෙක් පෝලන්තයේ සහ අනෙකුත් අසල්වැසි රටවලට රැකවරණය පතා පැමිණ සිටිනවා.

මේ අතර රුසියාව යුක්රේනයට එල්ල කළ ප්‍රහාරයේදී සිදුවූවා යැයි කියන අයිතිවාසිකම් කඩකිරීම් හෙළා දැකීමට සහ ඒවා විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිසමක් පිහිටුවීමට ගෙන එනු ලැබූ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැණුනා.

මීට අමතරව රුසියානු ආක්‍රමණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැඳවනු ලැබූ එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩලයේදී ද රුසියාවට එරෙහිව රටවල් 141ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කර ගත්තා.

රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත්, තම හමුදා ඉවත් කළ ගත යුතු බවත් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බවට මෙම යෝජනාව ගෙන එනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles