ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සාක්ෂි එකතු කර ගැනීමේ ක්‍රමවේදයට සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කරන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (01) ප්‍රකාශ කළේය.
තවද ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ සාක්ෂි එකතු කර ගැනීමේ ක්‍රමවේදය සඳහා පසුගිය වසරේ මාර්තුවල පැවති සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා ලද අතර එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පවරා ඇති බලතල අභිභවා යෑමක් බව ද මෙවැනි ක්‍රමවේද මඟින් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත සමබර බව හා සාමයට තර්ජනයක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර මෙවැනි ක්‍රමවේද ශ්‍රී ලංකාවේ සංහිඳියාවට බාධාවක් බව පෙන්වා දුන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එමඟින් ජාතීන් අතර බෙදීම් ඇති වන බවද පෙන්වා දුන්නේය.
කෙසේ වුවද මේ කාර්යය සඳහා ස්වේච්ඡාවෙන් ආධාර කරන ක්‍රමවේදයට ශ්‍රී ලංකාව විරුද්ධ බව ද සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාවලිය මඟින් ශ්‍රී ලාංකේය ජනතාවට කිසිදු සහනයක් අත් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඊට අමතරව මෙය රටේ සංවර්ධනයට හා සාමයට ද අහිතකර තත්ත්වයක් බව කී විදේශ ඇමැතිවරයා මෑත කාලයේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යභාරයට සහාය දී තිබෙන බව ද එය එහි කටයුතුවලට බෙහෙවින්ම ඵලදායි වී තිබෙන බවද පෙන්වා දුන්නේය. දඬුවම් දීම, දේශපාලන තීන්දු මත බෙදීම් ඇති කරන ක්‍රමවේදයන්ට ශ්‍රී ලංකාව විරුද්ධත්වය පළ කරන බව ද ශ්‍රී ලංකාව හැම විටම මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින බව ද සඳහන් කළේය.
“මූලික අයිතිවාසිකම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම අන්තර්ගත වෙලා තියෙනවා. මූලික අයිතිවාසිකම් අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන හරහා ක්‍රමානුකූලව දිව යන අතර එසේ දිවයන මූලික අයිතිවාසිකම් බලාත්මක කිරීමට අපිට ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. ත්‍රස්තවාදය,කොරෝනා වසංගතය වැනි අභියෝග රැසකට මුහුණ දී තිබියදීත් අපි සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය මුළු රටේම කලින් තිබූ තත්ත්වයට නැවත පත්කරලා තියෙනවා.
අපගේ දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව ආගම, ජනවර්ගය, දේශපාලන පසුබිම නොතකමින් අපගේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම දිගටම සිදු කරන අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රවර්ධනයද අපි දිගටම සිදු කරනවා .කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑම තිබියදීත්, අපි අපේ ජනතාවගේ සංවර්ධනය වීමේ අයිතිය තහවුරු කරන්න අපි ක්‍රියාකරලා තියෙනවා.නවතම තිරසාර සංවර්ධන ඉලක්ක අනුව ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම වල ස්ථාන හතක් ඉදිරියට ඇවිත් තියෙනවා.
2021 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ කැමැත්තකින් තොරව සභාගත කරන ලද 46/1 යෝජනාවට කවුන්සිලය ඡන්දය දුන්නා. මෙම යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදය ඊනියා සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ගැන සඳහන් කරන අතර එය රටවල් ගණනාවක් විසින් දැඩි ලෙස විරුද්ධ වූ පියවරක්. මෙවැනි යාන්ත්‍රණයකට මුල පිරීම නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අසමගිය ඇති වෙන්න ඉඩ තියෙනවා.එය සුව වූ තුවාල නැවත පාරවමින් ජාතින් අතර වෛර ගොඩ නැගීමට හේතුවක් වෙනවා.එය සංහිඳියා ඇති කිරීමට දරණ උත්සාහයන්ට බාධා ඇති කරන අතර,මම කියන්න කැමති 46/1 යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදයේ සඳහන් වන සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයෙන් ශ්‍රී ලාංකිකයන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට කිසිම උදව්වක් සිදුවෙන්නේ නැහැ.
ඒ වගේම මම කියන්න කැමති අවුරුදු 43 පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒක ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත් හොඳ පියවරක් ලෙස පෙන්වා දෙන්න කැමතියි” යනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉහල අංගය අමතමින් විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවාදය මාර්තු 3 වෙනි නොපැවැත් වෙන අතර එය එළඹෙන මාර්තු 4 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇත.