ඇතැම් විශ්ලේෂකයන්ට අනුව ඉතාලියේ උද්ගතව ඇති බැංකු අර්බුදය යුරෝපා කලාපයට බ්‍රිතාන්‍යය ඉන් ඉවත් වීමට ගත් තීරණයටත් වඩා බලපෑම් සහගත එකක් වනු ඇත. එය යුරෝපයේ දේශපාලන අර්බුදයක් ඇති කිරීමට තරම්ම ප්‍රබලය. එවැනි තත්ත්වයක් වත්මන් ඉතාලි ආණ්ඩුවට හිතකර නොවන බව පැහැදිලි කාරණයකි.
ඉතාලියේ විසෙන්සා නගරයේ සුන්දරත්වය යටපත් කරමින් මතු වූ බැංකු අර්බුදය යුරෝපයේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ යම් තිගැස්මක් ඇති කරන්නට හේතුවී තිබේ. හිටි හැටියේ ඉහළට මතු වූ බවක් පෙනුණද ඉතාලි බැංකු ක්ෂේත්‍රයේ අර්බුදයක සේයා මාස කිහිපයක් තිස්සේම ඇදෙමින් තිබිණි.
තැන්පත්කරුවන්ගේ කොටස් ඔවුනට අහිමි වන්නට පටන්ගෙන ඇති අතර විසෙන්සා පුරපති ඇචිලි වැජියාටි සතුව පොපොලෙයාර්ඩි විසෙන්සා (BPV) බැංකුවේ තිබූ යුරෝ 25000ක් වටිනා කොටස් ඔහුට අහිමි වූ බව ගාඩියන් වාර්තාවක සඳහන් විය. එය සිදුව තිබුණේ මේ වසර මුලදීය. යළි එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරන බව ඔහු සඳහන් කර තිබිණි. එහෙත් එය හුදු අපේක්ෂාවක් පමණක් බවට පත්කරමින් වඩා බරපතළ ලෙස එරට බැංකු පද්ධතිය අර්බුදයක් කරා ගමන් කරමින් සිටී. යුරෝ කලාපයට එය දැනී ඇති ප්‍රමාණය රෝමය සහ බ්‍රසල්ස් අතර හදිසි සාකච්ඡා ඇරැඹීමෙන්ම පැහැදිලි වේ.
තැන්පතු අහිමි වීම්
ඉතාලියේ බැංකු අර්බුදය දෙස හැරෙන්නට යුරෝ කලාපයට සිදුව ඇත්තේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය තමන්ට බලපාන ආකාරය විග්‍රහ කර ගැනීමට වෑයම් කරමින් සිටියදීය. රෝමය සහ බ්‍රසල්ස් අතර සිදුවන සාකච්ඡා ඉතාලියේ බැංකු පද්ධතිය රැකගන්නේ කෙසේද යන කාරණයට ප්‍රමුඛත්වයක් දෙමින් පෙරට යමින් ඇත.
විසෙන්සා හි වේටර්වරයකු ‘ගාඩියන්’ පුවත්පතට පවසා තිබුණේ මේ අර්බුදය ඇරැඹුණේ දෙවසරකට ඉහත දී බවයි. BPV බැංකුවේ කළමනාකාරවරයකු ඔහුට සහ ඔහුගේ පියාට පැහැදිලි කර තිබුණේ ඔවුන් දෙදෙනා එක් අයකු යුරෝ 6000 බැගින් යොදවා බැංකුවේ කොටස් මිලදී ගතහොත් ඊට ප්‍රතිලාභ වශයෙන් නිවාස,මෝටර් රථ මිලදී ගැනීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම ආදියට බැංකුවෙන් ණය පහසුකම් සලසාගත හැකි බවය. ඒ අනුව පිය – පුතු දෙපළ එසේ කර ඇති අතර අද ඔවුන් යෙදවූ යුරෝ 12000 මුදල මේ වනවිට නොවටිනා තත්ත්වයට පත්වී තිබේ. මේ අන්දමින් මිලියන ගණනින් පාඩු ලැබූ පුද්ගලයන් මෙන්ම සමාගම් ද තවත් තිබේ. එහෙත්, තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවමත් ඒවායේ ඉතිරි කරන හා කොටස් මිලදී ගන්නා අය සිටී.
ඉතාලි බැංකු පද්ධතියේ ණය අර්බුදයක් ඇති වී ඇතත් එරට දේශපාලන අධිකාරිය තවමත් එය ප්‍රමාණවත් ලෙස අවධානයට ගෙන නැති බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. ඔවුන් එය මඟහැර සිටින බවත් පෙනේ. ලොව පළමු බැංකුව පිහිටා ඇත්තේ ද ඉතාලියේය. ඉකුත් අප්‍රේල් මාසයේ දී එරට ඓතිහාසික වටිනාකමකින් යුතු බැංකුවක් බේරාගැනීමට අලුතෙන් ස්ථාපිත කළ ඉතාලි අරමුදල මඟින් මුදල් යෙදවිණි.
පශ්චාත් යුද කාලීන ඉතාලිය අත්කරගත් ආර්ථික වර්ධනයේ මුල්‍ය එන්ජිම බවට පත්වූයේ විසෙන්සා නගරය කේන්ද්‍රකොටගත් කර්මාන්ත දැවැන්තයන්ය. විසෙන්සා හි සමාගම් 100,000කින් 30%ක්ම BPV බැංකුව සමඟ ගනු – දෙනු කළේය. බැංකුවෙන් ලැබුණු සහාය සිය ව්‍යාපාර ප්‍රවර්ධන හා පවත්වාගෙනයාමට ඔවුනට වැදගත් විය. විසෙන්සා යනු ඉතාලියේ සමස්ත ධන සම්භාරයෙන් විශාල පංගුවකට හිමිකම් කියන ප්‍රදේශයකි. යම් හෙයකින් එම කලාපය අකර්මන්‍ය වුවහොත් එය රටටම බලපාන බව වටහාගැනීම දුෂ්කර නැත.
විසෙන්සාහි පුරපතිවරයා පෙන්වා දෙන අන්දමට විවිධ සමාජ තීරුවලට මෙහි බලපැම එල්ල වී ඇත. විශ්‍රාමිකයන්, අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන් ට මුදල් නැතිවීම විශාල ප්‍රශ්නයක් වනවිට ජනතාවට සිය ගෑස් බිල ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිවීම බරපතළ කාරණයකි. සිය දරුවාගේ විවාහ මංගල්‍යය සැලසුම් කළ දෙමව්පියන්ට දැන් එය පැවැත්වීමට නොහැකි වී ඇත්නම් එතැන අර්බුදයක් නැතිද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. තම රැකවරණය වෙනුවෙන් මුදලක් ඉතිරි කළ විශ්‍රාමිකයන්ට දැන් රජයෙන් සහන ඉල්ලා සිටීමට සිදුව තිබේ. සිය ඉතුරුම් හා කොටස් මුදල් ලබාගැනීම වෙනුවන් අධිකරණයේ සහාය පැතීමට පවා ඇතැමුන්ට සිදුවී ඇත. මේ අර්බුදයේ එක් ඛේදනීය පැතිකඩක් ඉකුත් මාසයේදී පිළිබිඹු විය. සිය ඉතුරුම් අහිමි වීම නිසා කම්පනයට පත්ව රෝගී වූ 67 හැවිරිදි විශ්‍රාමිකයකු සිය දිවි නසාගෙන තිබිණි.
ඉතාලි අගමැති මතියෝ රෙන්සි ඒ අතර CNBC නාලිකාවට පවසා තිබුණේ ඉතාලි බැංකු යහපත් මට්ටමක ඇතිය යන්න තම අදහස බවයි. කෙසේ වුවද කුඩා පරිමාණයේ බැංකු ප්‍රතිව්‍යූහගත කිරීමට අගමැතිවරයා ඉකුත් වසරේ දැරූ ප්‍රයත්නයට එරෙහිව දැඩි විවේචන එල්ල විය. මේ වසර මුලදී සුළු පරිමාණ වශයෙන් ඉතුරුම් කළ බැංකු ගනුදෙනුකරුවෝ බැංකු ඉදිරිපිටට රැස්ව විරෝධතාවල පවා නිරත වූහ.
බැංකු පිරිසුදු කිරීම
ආර්ථික විශ්ලේෂකයන් දැනටමත් අනතුරු අඟවා සිටින්නේ එක්සත් රාජධානිය , අයර්ලන්තය සහ ස්පාඤ්ඤය ඔවුන්ගේ බැංකු පද්ධතිය පිරිසිදු කිරීමට නොපමාව යොමුවිය යුතු බවය. ඉතාලිය ඊට උනන්දු නොවූ බව ඔවුන් පෙන්වා දෙන්නේ එහි ප්‍රතිඵල ද ගෙනහැර පාමිනි. ණය දීමේදී ඉතාලි බැංකු ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤයට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. මෙවැනි අර්බුදයකට ඉතාලිය ගමන් කළේද එබැවිනි.
ඇතැම් විශ්ලේෂකයන්ට අනුව ඉතාලියේ උද්ගතව ඇති බැංකු අර්බුදය යුරෝපා කලාපයට බ්‍රිතාන්‍ය ඉන් ඉවත් වීමට ගත් තීරණයටත් වඩා බලපෑම් සහගත එකක් වනු ඇත. එය යුරෝපයේ දේශපාලන අර්බුදයක් ඇති කිරීමට තරම්ම ප්‍රබලය. එවැනි තත්ත්වයක් වත්මන් ඉතාලි ආණ්ඩුවට හිතකර නොවන බව පැහැදිලි කාරණයකි. මේ තත්ත්වය යුරෝ කලාපය නිමක් නැති අර්බුදයක් වෙත තල්ලු කිරීමට තරම් බලවත්ය.
අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ තක්සේරුවට අනුව යුරෝ කලාපයේ තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටේ මතුවෙමින් ඇති තත්ත්වය අවධානයට ලක්විය යුතුය. එරට ආර්ථික සෞඛ්‍ය පිරිහෙමින් ඇති බවට මුල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ. නිෂ්පාදන වර්ධනය තවදුරටත් දුර්වල මට්ටමක තිබියදී ණය ඉහළ යමින් ඇත. ඒ අතරවාරයේ බංකු පද්ධතියද රෝගී වීමෙන් සිදුවන්නේ ආර්ථික සමෘද්ධිය බිඳවැටීමය.
දැනට පුරෝකථනය කර ඇති පරිදි ඉතාලියට ඉක්මනින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන බවත් පෙනෙන්නට නැත. වසර 2025 දක්වාවත් බලා සිටීමට ඔවුන්ට සිදුවනු ඇත. නිකම්ම බලා සිටි පමණින් ඉන් ගොඩ ඒමට හැකිවන්නේද නැත. කෙසේ වුවද ඉතාලියට දශකයක් නොව දශක 2ක්ම අහිමි වන බව පෙනෙන්නට ඇත.
අර්බුදයට හේතු
විශ්ලේෂකයන් පවසන පරිදි ඉතාලි බැංකු පද්ධතියත් සමඟ දූෂණය, අක්‍රමිකතා මෙන්ම දේශපාලනයද ගැට ගැසීම ඒවායේ පරිහානියට බලපා තිබේ. එහෙත්, ඊට මුල් වූ හේතු කාරණා ඒවා පමණක්ම නොවේ. ඉතිහාසය සමඟ ද මෙය සම්බන්ධවන බව ඔවුහු පෙන්වා දෙති. දේශපාලන හිතවත්කම් මත නෑදෑ – හිත මිතුරන්ට අතදිග හැර ණය ලබාදීම වැනි සිදු නොවිය යුතුදෑ සිදු වී ඇතත් එරට බැංකු පද්ධතිය අර්බුදයට ලක්වීමට බලපෑ ප්‍රමුඛ කාරණය එය නොවේ.
ඉතාලියේ බැංකුවල අර්බුදයක් ඇතැයි ද සමහරු කියති. ඇත්තේ යුරෝ අර්බුදයකි. සාර්ව ආර්ථික දෘෂ්ඨි කෝණයකින් බලනවිට යුරෝ කලාපය තුළ ග්‍රීසියට පසු වඩාත්ම පීඩනයට ලක් වූ රට ඉතාලියයි. 2007 දී ඉතාලියේ දළ ජාතික නිෂ්පාදනය ඇ.ඩො. බිලියන 2400ක් වූ නමුත් 2015 වන විට එය ඇමරිකා ඩො. බිලියන 1800 දක්වා පහත වැටී තිබේ. එය බරපතළ පසුබෑමකි. මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මීට දශකයකට පෙර සිටි තැනට ඉතාලිය මේ වනවිට ගමන්කර ඇත. 2004 දී එරට දළ ජාතික නිෂ්පාදනය ඇ.ඩො.බිලියන 1800 කි. 2009 – 2013 කාල සීමාව තුළ එරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මිලියන 1.7 ට වඩා සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවිය. කෙසේ වෙතත් මෙය ඉතාලිය පමණක් මුහුණ දෙන තත්ත්වයක් නොවන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.
මේ තත්ත්වය තුළ රැඩිකල් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් වත්මන් ඉතාලි ආණ්ඩුව ඊට සූදානම් බවක් තවමත් පෙනෙන්නට නැත. කොටින්ම අර්බුදයේ ගැඹුර නිසි ලෙස වටහාගෙන ඇති බවක්වත් නොපෙනේ. මේ තත්ත්වය යටතේ යුරෝපා කොමිෂමෙන් ණය සහන පැකේජයක් ලබා ගැනීමට ඇතැම්විට ඉතාලියට සිදුවනු ඇත.දේශපාලන වශයෙන් ඉතාලිය අර්බුදයට යනු දැකීමට යුරෝපා සංගමය අකැමැති වනු ඇති පසුබිමක එවැන්නකට ඉඩ සැලසෙනු ඇත.
ඉවක් බවක් නැති ණය
උද්ගතව ඇති බැංකු අර්බුදයට හේතුවූ කාරණා අධ්‍යයනය කරන විට හොඳින්ම පැහැදිළි වන කාරණය නම් අතිශයින් වගකීම් විරහිතව ඒවා මඟින් ණය ලබාදී ඇති බවයි. ඇතැම් ව්‍යාපාර ණය ලබා දී ඇත්තේ ණය කරුවාට එම ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ ඇති අත්දැකීම් හෝ පළපුරුද්ද ගැන කිසිදු වගවිභාගයකින් තොරවය. එවැනි පසුබිමක එම ව්‍යාපාර අර්බුදයට ගොස් ඇති අතර ණය අයකර ගැනීමද අර්බුදකාරී වී තිබේ.
මීට වසර කිහිපයකට ඉහත දී අමෙරිකාවේ නිවාස හා දේපළ වෙළඳ පොළ කේන්ද්‍රකොට මතුවී අර්බුදයක් දක්වා පරිවර්තනය වූ ආර්ථික අවපාතය තරම් ගැඹුරු යැයි කිවනොහැකි වුවද ඉතාලි බැංකු අර්බුදය අවතක්සේරු නොකළ යුතුය. එය සමස්ත යුරෝපා කලාපයට බලපෑම නොවැළැක්විය හැකිවන අතර එය සමඟ සම්බන්ධ සෙසු රටවලට අඩු – වැඩි වශයෙන් බලපානු ඇත.