Friday, January 24, 2025

ජනතාව බලාපොරොත්තු වුන ආකාරයට වැඩ වුණේ නෑ කියලා මා කෙරෙහිත් රජය කෙරෙහිත් අප්‍රසාදයක් තියනවා – ජනපති

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපතිවරයා පැවැසීය.

නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද හෙතෙම සඳහන් කළේය.

රට වසා තැබීම සහ විවිධ පාලන නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණ බව පැවසූ ජනාධිපතිවරයා එවැනි තත්වයන් පෙන්වා දෙමින් නිදහසට කරුණු දැක්වීමට තමා සූදානම් නැතැයිද පැවසුවේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද (10) පැවති උත්සවයේදීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වු නමුත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදුකර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වු බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ඒ සඳහා කළ කැපකිරීමට සියලුදෙනාට තම ස්තූතිය පළ කරන බවද සඳහන් කර ඇත.

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංවිධානය කෙරැණු යුද හමුදා සැමරුම් උළෙට පැමිණි ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කෙරිණි.අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles